Электронная библиотека » Amy Blankenship » » онлайн чтение - страница 3


  • Текст добавлен: 20 ноября 2021, 08:40


Автор книги: Amy Blankenship


Жанр: Жанр неизвестен


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 4 страниц)

Шрифт:
- 100% +

2 වන පරිච්ඡේදය

පඩිපෙළින් බැස යන විට ශාලාවේ වූ උණුසුම, තමන් වෙත දෙවෙනි සමක් මෙන් වැටෙන බව එන්වීට දැනුනි. ඇගේ දැඩිවූ මාංශ පේශි ලිහිල් කිරීමට උත්සාහ කරමින් ඇය නැටුම් බිම වෙත පියමැන්නාය. ඇය ට්‍රෙවර් සිටි දිශාවට පියවර කිහිපයක් තැබූ අතර, ඇඟිලි තුඩු මගින් තම නිරාවරණයවූ සම මෘදු ලෙස ස්පර්ශ කරනවාත්, නුහුරු නුපුරුදු සිරුරු ඇයගේ ඇඟෙහි ඇතිල්ලී යන බවත් ඇයට තේරුණි.

ඇය මෙතෙක් ගොස් තිබූ හෝ වැඩ කළ අනෙකුත් සමාජ ශාලා වල නර්තන බිම්වලට වඩා මෙම නර්තන තලය අඳුරු වූ අතර ඇගේ පෞද්ගලිකත්වය රැකගැනීමට එය කදිම බව ඇය තේරුම්ගත්තාය. එහි නැටුම් එක් එක් ජෝඩු විසින් කල නැටුම් නොවූ අතර එය උණුසුම් ශරීර මිශ්‍ර වූ කණ්ඩායමක් විය. පරිසරයේ වෙනස් වීම දැනුන ඇය, සෙමෙන් තම දෑත් ඔසවා, නාඳුනන අය අතරේ තම ඇඟිලි තුඩු වැදෙන්නට ඉඩ හැරියාය. එයත් සමග ඇයගේ ඇඩ්රිනලින් හෝමෝනය ගලා ඒම නිසා මහත් ජවයෙන් යුතුව ඇයගේ ශරීරය උණුසුම් සරාගී සංගීතය සමග මුසුවීමට ඉඩහැරියාය.

ට්‍රෙවර්ට මුහුණ දීමට බලා පොරොත්තු නොවූ ඇය, මොහොතකට තම දෑස් පියාගෙන රාගයේ ශබ්දය ලෙස පමණක් හැඳින්විය හැකි සංගීතය සමඟ සෙමින් නැටුවාය.

තම ශරීරයට ස්පර්ශයන් ක්‍රම ක්‍රමයෙන් නිර්භීත ලෙස දැනෙන බව ඇයට වැටහුන විට, එන්වී තම ඇස් ඇර බැලූ අතර, පිරිමි පපු ප්‍රදේශ කිහිපයක් ඇයගේ නෙත ගැටුණි. සමහරු බොත්තම් රහිත කමිස මගින් තම පපු පෙදෙස නිරාවරණය වනලෙස සිටි අතර තවත් සමහරු සිරුරට තදවන ඇඳුම් ඇඳ සිටි අතර ඔවුන්ගේ එම ඇඳුම්ද ආකර්ෂණීය විය. ඔවුන්ගේ ඇස් දෙස බැලීමට බියෙන් ඇය ඔවුන්ගේ මුහුණ දෙස බැලීමට එඩිතර නොවූවාය.

මදක් කල්පනා කල ඇය පසුපසට යාමට පටන් ගත් අතර ඔවුන්ද ආකර්ෂණීය නර්තනයේ යෙදෙමින් ඇය පසුපස යන විට ඇය එය නොසැලකුවාය. මැද තිබුනාවූ කූඩුවේ සීතල යකඩ ඇයගේ පිටුපසට දැනුන ඇය සෙමෙන් හිස හරවා කුඩා වේදිකාව දෙස බැලුවාය. එහි සිටි පිරිමියා ඔහු සමඟ සිටි තරුණියව දණගැසීමට සලස්වමින් සිටි අතර ඔහු ඇයගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටියේය.

ඔවුන් දෙදෙනාගේ බැල්ම එකිනෙකා සමග අගුළුලා සිටින විට මුළු කාමරයම මැකී යන බවක් පෙනෙන්නට තිබුණි. ඔහු ඇය දෙස බලා සිටි ආකාරයෙන් එන්වීට හැඟුනේ ඇය ඔහුට යටත් වී ඇති බවකි. ඔහුගේ කළු ඉංගිරියාව වටා ඉතා ඝන කළු වලල්ලක් සහිත අයිස් වන් නිල් පැහැති ඇස් ඔහුට තිබුණි. ඇයට සිතුනේ එතරම් විශ්මය ජනක හෝ දැඩි ඇස් මෙතෙක් දැක නැති බවයි. ඇයට පැය ගණන් ඒවා දෙස බලා සිටිය හැකි අතර එහි කෙළවරක් නොමැති බව හැඟී ගියෙන් එම සිතුවිල්ල ඇයව බිය ගැන්වීය.

ඔහුගේ බැල්මෙන් එන්වීට හැඟීගියේ ඇය නිරුවතින් සිටින ආකාරය ඔහු දකින බවයි. ඔහුගේ දෑස් ඇගේ ශරීරය පුරා සැරිසරන ආකාරය සහ සමහර ස්ථාන වල රැඳී සිටි ආකාරය මගින් ... ඔහුගේ දෑත් එම ස්ථාන ස්පර්ශ කරන බවක් ඇයට දැනෙන්නට විය. කූඩුවේ පොලුවල එල්ලී ඇයව දැඩි ලෙස හා වේගයෙන් ගෙන යන ලෙස ඔහුට කන්නලව් කිරීමට ඇති පෙලඹීම වැළැක්වීමට නොහැකි තරම් විය.

ආකර්ෂණීය දසුනෙන් තම දෑස් ඉවත් කරගත් එන්වී, තමා කැමති ඕනෑම අවස්ථාවක නර්තන භූමියෙන් ඉවත්ව ගියහැකි බව තමාට මතක් කර ගැනීමට උත්සාහ කළාය.

නර්තනයේ ගලායාම සමඟ ගොස් හැකිතාක් දුරට මිශ්‍ර වීමට ට්‍රෙවර් උත්සාහ කළද ඔහු විනෝදයක් නොලැබීය. නමුත් ඔහු මෙහි සිටීමට සැබෑ හේතුව වූයේ උණුසුම් ගැහැණු ළමයින් සහ නැටුම් නොවේ. කූඩුවේ සිටි පුද්ගලයා වෙත ඔහු සිය බැල්ම තබා තිබුනේ එම පුද්ගලයා ඔහුගේ සැබෑ සලකුණ වූ බැවිනි.

එම පුද්ගලයාගේ නම ඩෙවෝන් සැන්ටෝස් වූ අතර කෙලී ෆොස්ටර් සමඟ අවසන් වරට දුටු පුද්ගලයා ඔහු විය; පසුගිය සතියේ අසල පටු මාවතක තිබී හමු වූ 20 හැවිරිදි තරුණිය. ඇය ජීවතුන් අතර සිටි අවසන් රාත්‍රියේ ඩෙවෝන් සමඟ එම ප්‍රදර්ශන කූඩුවේ සිටියේ ඇය වූවාය.

මේ වන විට ඔහු දැනගෙන තිබුනේ මිනීමැරුමට ගොදුරු වූ තැනැත්තිය මාවත අද්දර පිහිටි නයිට් ලයිට් නමැති සමාජ ශාලාවක සේවය කිරීමෙන් ඉවත් වී ඇති බවයි. ඇය සඳ රැඟුමෙහි සේවය කළේ එක් රැයක් සඳහා පමණි ... ඇය මිය ගිය රාත්‍රියේදී. ඔහු විමර්ශනය කරමින් සිටි එකම මරණය ඇයගේ පමණක් නොවූ අතර එය හෝඩුවාවක් විය. ඇයගේ සිරුර කවුරුන් විසින් හෝ අතහැර දමා තිබුනත් එය ත්‍යාගයක් මෙන් කූගර් සහ ජගුවර්වරු අසල තැබීමට වග බලාගෙන තිබුණි.

ඩෙවෝන්, ඔහුගේ සහෝදරයන් දෙදෙනා වන නික් සහ වොරන් සහ ඔවුන්ගේ එකම සහෝදරිය වන කැට් සමඟ මෙම සමාජ ශාලාවේ හවුල් හිමිකරුවෙකු විය. සමාජ ශාලා දෙක අතර නිහඬ ආරවුලක් පවතින බවත්, ඔවුන්ගේ පියවරුන් දෙදෙනාම වසර දහයකට පෙර අතුරුදහන් වූ දින පටන් පවුල් දෙක සැබවින්ම විරුද්ධවාදීන් බවත් කටකතා පැතිර තිබිණි.

සමාජ ශාලා අතර වෛරයක් ඇතිවීමට සැබෑ හේතුව දැන ට්‍රෙවර්ගේ දෑස් පටු විය. මේවා සාමාන්‍ය සමාජශාලා නොවීය; ඒවායේ අයිතිය මෙන්ම ඒවා පාලනය කළේ මාරුවෙන්නන් විසිනි. කෙලී වැඩ කරමින් සිටි සමාජශාලාව පවත්වාගෙන ගියේ කූගර්වරුන් විසිනි. ඇය එතනින් පිට වී ජගුවර්වරුන් වෙත වැඩට පැමිණියත් ඊළඟ දවසේ මිය ගොස් තිබිණි. එය නොසලකා හැරිය නොහැකි අන්දමේ කාරණයක් විය.

තම ස්වරුපය මාරු කරන්නන් ඔවුන් අතර ජීවත් වන බව මිනිසුන් දැන ගත්තේ නම්, ඔවුන් අතර භීතියක් ඇති වනු ඇත ... නමුත් රහස එළියට නොපැමිණෙන ලෙස ඔවුන් බොහෝ කාලයක් සමාජයේ කොටසක් වී සිටියහ. ඔවුන් මානව සංහතියේ නීති රීතීන්ට අනුකූලව කටයුතු කරන තාක් කල්, ඔවුන් ඉවත් කිරීමෙන් මහා අවුල් ජාලාවක් ඇති කිරීමේ අවශ්‍යතාවක් නොතිබුණි. එය කවදා හෝ සිදු වුවහොත් මිනිස් මනෝභාවය අඳුරු යුගයට ආපසු යනු ඇත.

සී.අයි.ඒ. සංවිධානයේ අද්භූත ජීවින් පිලිබඳ සොයාබලන ආයතනය තුළ ඇති න්‍යාය පත්‍රයට අනුව නම් මොවුන් සමගද කටයුතු කලයුත්තේ හඳුනා නොගත් පියාසර වස්තු සහ පිටසක්වල ජීවීන්ගේ හමු වීම් සමඟ ඔවුන් කටයුතු කළ ආකාරයටමය; එනම්, එයට මුහුණ දීම, ජනතාවගෙන් වසන් කිරීම, වෙනත් කරුණකින් එය ආවරණය කිරීම මගිනි. මාරුවෙන්නන්ට වඩා නරකවූද, නමුත් මනුෂ්‍යත්වයට හොඳින් ගැලපෙන්නාවූ වෙනත් දේ බොහෝමයක් තිබුනි ... වෙනත්, භයානක ජීවීන් මිනිසා නරක ත්‍රාසජනක චිත්‍රපට මගින් නිර්මාණය කල මෙන්ම මිනිසුන්ට තවමත් අවබෝධයක් නොතිබූ ජීවින්.

නමුත් මිනිසුන් අතුරුදහන් වී හෝ මිය යාමට පටන් ගත් විට, ඔහු අයත්වූ කණ්ඩායම යොදවා කුමක් සිදුවන්නේ දැයි සොයා බැලීමට ඔවුහු උත්සාහ කළහ.

ඩෙවෝන් තම කූඩුව තුළ සිටි ගැහැණිය අතහැර දමා පොලු අසලට ගොස් යමෙකු දෙස බලා සිටිනු දුටු ට්‍රෙවර් ඔහුගේ බැල්ම යොමුවී ඇත්තේ කාවෙත දැයි බැලීය. ශක්තිමත් පිරිමින් සමූහයකින් වටවී, කූඩුවට පිටදී වාරු වී සිටින එන්වීව දුටු විට ඔහුගේ රුධිර පීඩනය ක්‍ෂණිකව අංශක කිහිපයකින් ඉහළ යන බව ඔහුට දැනුණි.

මොන මගුලක්ද එයා මෙහි කරන්නේ? ඔහු දෙවරක් නොසිතා තම නර්තන හවුල්කරුවන් අතහැර සමූහයා මැදින් ඇය දෙසට ගියේය.

ඔහුගේ අවධානයට ලක් වූ ගැහැණිය, තමා පිටුපස තිබූ මැදිරියෙහි පොලු අල්ලා ගැනීම සඳහා දෑත් ඔසවන විට ඩෙවෝන් ඔහුගේ උගුරෙන් මද හඬක් නැගුවේය. මුළු සමාජ ශාලාවේම සිටින සියල්ලන්ගේම උණුසුමට වඩා ඇයගේ උණුසුම ඔහුට දැනුන අතර එය ඔහුට ආමන්ත්‍රණය කරනවා යැයි හැඟුනි. ඔහුගේ ඇඟිලි ඇයගේ ඇඟිලි මත තබා, ඉන්පසු තම දෑත් කූඩුවේ පොලු අතරින් එලියට දමා ඇයගේ දෑත් දිගේ තම දෑත් පහලට ලිස්සා යැව්වේය.

සරාගී නර්තන ශිල්පියා දෙස එන්වී ආපසු හැරී බැලීමට සූදානම් වන විට, යමෙක් ඇගේ එක් අතක් අල්ලා බලෙන් එය කූඩුවෙන් ගලවා දැමීය. ඒ කවුදැයි දුටු විට ඇගේ මුව ඇරුණි. ට්‍රෙවර් ගැන ඇයට සම්පූර්ණයෙන්ම අමතක වී තිබිණි! තම ආකර්ෂණීය මනෝභාවය බිඳී ගිය අතර ඇය සඳ රැඟුමට පැමිණියේ ඇයිද කියා ඇයට මතක් වූ විට ඇය කෝපයට පත්වූවාය ... පලිගැනීමට.

"ඔයා මොනාද මෙතන කරන්නේ?" ට්‍රෙවර් තරමක් තදින් ඇයට පැවසූවේ ඇයව කූඩුව වෙතින් සහ ඩෙවෝන්ගේ භයානක ග්‍රහණයෙන් ඉවතට ගෙන යාමට උත්සාහ කරමිනි. ජගුවර්වරයා මිනීමරුවා නම්, ඔහු එන්වී දෙස බලා සිටි ආකාරයෙන් ඔහුගේ ඊළඟ ඉලක්කය ඇය වියහැකි බව ඔහුට සිතුනි.

ට්‍රෙවර් ඇයව හැසිරෙවූ ආකාරය ගැන ඇය අකමැති වූ නිසා එන්වී ඇයගේ අනෙක් අත අතනොහැර කූඩුවේ බාර්එක තදින් අල්ලාගෙන සිටියාය. ඔහු හැසිරුනේ ඇය ඔහු වෙනුවෙන් වරදක් කළාක් මෙනි. ඇගේ මිහිරි සිනහව ඔහු හට දක්වමින්, "මම නටන්න ආවා ... ඔයා කළා වගේ" යයි කීවාය.

ඔහු, සෙසු ගැහැණු ළමයින් සමඟ නටමින් සිටි ආකාරය ඇය දුටු බව දැන ට්‍රෙවර්ගේ තොල් සිහින් වී ගිය නමුත් ඇයට නොතේරෙන දෙය වූයේ ඔහු එම ක්‍රියා ආවරණයක් ලෙස භාවිතා කරන බවයි. ඔවුන්ගේ නම් අසා දැනගන්නට තරම්වත් ඔහු එම ගැහැණු ළමයින් ගැන සැලකිලිමත් නොවීය. ඔහු සහ එන්වී එකිනෙකාගේ දෑස් දෙස කෝපාවිෂ්ටව බලා සිටි අතර අවසානයේදී ඔහු සුසුමක් හෙළීය.

ඔහු ඇයගේ කන වෙත නැඹුරුවී "මට ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්" යැයි කීවේය. ඔහු සැබැවින්ම කවරෙක් දැයි ඇයට කීමට ඔහුට අවශ්‍ය නොවූයේ ඇයගේ මෝඩ සහෝදර චැඩ් මෙන්ම ඇයද, තමා ඇයව පාවිච්චි කරන්නේ, ඇය වැඩ කරන බාර් වලට හොඳ ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා පමණක් බවට සිතීයයි බිය වූ බැවිනි.

"මෙහෙ එන්න," ඔහු ඩෙවෝන්ගේ දැඩි බැල්මෙන් ඇයව ඉවතට ගැනීමට නැවත උත්සාහ කළේය. ඔහු තත්පරයක් ගනිමින් ඩෙවෝන් දෙස බැලූ අතර බැල්මෙන් යමෙකුව මැරිය හැකි නම් ඔහු මේ වන විටත් බිම ලේ විලක් මෙන් දිස්වනු නොඅනුමානය. ඔහුද ප්‍රතිඋත්තර පෙනුමක් ලබා දුන් අතර ට්‍රෙවර් පසුව තම අවධානය ඔහුගේ පෙම්වතිය වෙත යොමු කළේය.

එන්වී ඔහු දෙසට හිස සැලුවාය. ඔහු මෙලෙස පැහැදිලි කරාවි යැයි ඇය සිතුවාය. “මම ආවේ නටන්න. මට මේ ලස්සන අය එක්ක නටන්න පුළුවන්, ඔයාත් කැමතිනම් එන්න අපිත් එක්ක නටන්න.” කුමන ආකාරයකට හෝ ඒවා කිසි අයුරකින් තමන්ට අදාළ නැතිබව පෙන්වීමට මෙන් ඇය තම සියුම් ඇහි බැම ඉහළට ඔසවා ගත්තාය.

ට්‍රෙවර් සෙමෙන් හිස හරවා ඔහුගේ උරහිස උඩින් නෙත් යොමා, තවමත් ඇය සමග නැටීමට අවස්ථාවක් ලැබෙනවාදැයි බලා සිටින රාගශීලී පුද්ගලයින් දෙස බලා සිටියේය. "මෙතනින් යන්න," ඔහු ඔවුන්ට මාරාන්තික ස්වරයෙන් පැවසුවේ, එන්වීට තවත් සමීප වෙමිනි. ඇයට නටන්න අවශ්‍ය නම්, දෙවියන්ගේ නාමයෙන් ඇය ඔහු සමඟ නර්තනයේ යෙදිය යුතුවිය.

එන්වී මුහුණ ඇඹුල් කර ඔහු දෙස බැලූ නමුත් රහසින් කල්පනා කළේ ඔහු තවත් ගැහැණු ළමයින් දෙදෙනෙකු සමඟ, ඉතා කුළුපග ආකාරයෙන් මොහොතකට පෙර නටමින් සිටියද ඔහු මෙතරම් ඊර්ෂ්‍යා කරන්නේ ඇයිද කියාය. "ඔයා විනෝදජනක නැහැනේ." අවසානයේදී ඇය අල්ලාගෙන සිටි බාර්එක මුදා හැර, තම ශරීරය ස්පර්ශ කරමින් අත පහලට ගෙන නොසැලකිලිමත් ලෙස ඇගේ සාක්කුවෙන් කුඩා ටේසර් එක ඉවතට ගෙන පසුව තම දෑත් මගින් ඔහුගේ ඉළ ඇට පෙදෙස ස්පර්ශ කලාය.

ඩෙවෝන් ඔහුගේ මුළු උසින් සිටගෙන, ඔහුගේ අවධානයට වඩා වැඩිදෙයක් දිනාගත් ශරීරයෙන් කුඩා මේ රතුකෙස් ඇත්තිය දෙස බලා සිටියේය. ඇයට හිමිකම් කීමට උත්සාහ කළ පුද්ගලයාගේ සුවඳට ඔහු කැමති වූයේ නැත. ඔහු තුලින් පැරණි වෙඩි බෙහෙත් සුවඳක් දැනුන අතර එයින් අදහස් වූයේ ඔහු සතුව ආයුධයක් කොහේ හෝ සඟවා තිබූ බවයි. නර්තන ශිල්පිනියට විවේකයක් ලබා ගන්නා ලෙස පවසා ඔහු කූඩුවේ දොර හැරියේය.

ඔහු තම ඇඟිල්ල මගින්, කණ ස්පර්ශ කරමින් නොපෙනෙන සන්නිවේදන උපකරණය මගින් පැමිණියාවූ හඬට හොඳින් සවන් දුන්නේය. ඔහුගේ කූඩුව අසල සිටින්නාවූ තරුණිය සතුව ටේසර් යන්ත්‍රයක් ඇති බවත් එය පිරිමි ළමයෙකුට එරෙහිව භාවිතා කිරීමට සැලසුමක් තිබියහැකි බවත් ඔහුගේ සහෝදරයා ඔහුට පැවසීය. ඔහු නැටුම් බිම හරහා කළු එළිය දෙස බැලූ අතර අවශ්‍ය වුවහොත් මැදිහත් වීමට නික් සූදානම්ව සිටිනු දුටුවේය.

සන්නිවේදන උපකරණය මගින් පැමිණියේ වොරන්ගේ කටහඬ නිසා ඩෙවෝන්ට වැටහුනේ ඔහුගේ වැඩිමහල් සොහොයුරා ඔහුට ඉහළින් සවිකර තිබූ රාත්‍රී දර්ශන කැමරාවකින් බලා සිටින බවයි.

මේ මොහොතේ තමන් ඉදිරිපිට සිටින මිනිසාගේ ශරීරයේ ඔබමොබ සැරිසරන ඇයගේ කුඩා දෑත් දෙස ආපසු බලන විට, ඩෙවෝන්ට හදිසියේම වැටහී ගියේ එම මිනිහාගේ හිස ගලවා දැමීමට තමන්ට දැඩි අවශ්‍යතාවයක් දැනුණු බවයි. ඇයගේ අත ඔහුගේ උකුල දෙසට ගමන් කරන විට දිලිසුනු රිදී පැහැති දෙයක් ඔහු දුටුවේය. ඔහුගේ දෙතොලින් අවතාරයක බඳු සිනහවක් මතුවූ අතර දැනට මෙයට මැදිහත් නොවීමට ඔහු තීරණය කළේය.

"මට මේක හසුරවන්න ඉඩ දෙන්න" ඩෙවෝන් මුමුණමින් සන්නිවේදනය කළේය.

එය සිදුවීමට ආසන්න බව දැනගත් චැඩ් සහ ජේසන් එකිනෙකාට සිනාසෙමින් නැටුම් බිම වෙත යන පඩිපෙළ දෙසට පියනැගූහ.

ට්‍රෙවර්ට හදිසියේම තේරුම් ගියේ, ඇය මෙතැනට එන බවක් එන්වී ඔහුට පවසා නොමැති බවයි. එසේ නම් ඔහුට මෙතරම් වරදකාරී හැඟීමක් ඇති වූයේ ඇයි? “ඔයා මොකක්ද මෙහෙ කරන්නේ කියලා මම ඇහුවා නේද, ඔයාගෙන්?,” ඇයට ස්පර්ශ වෙමින් ඔහු නැවත විමසූ අතර මෙවර ඔහුගේ කටහඬේ දැඩිබවක් තිබුණි. ඔහු මෙම සමාජ ශාලාව තුළට පය තැබීමෙන් පසු ප්‍රථම වතාවට ඔහුගේ ඉන්ද්‍රීය ප්‍රාණවත් වනු ඔහුට දැනුන අතර ඔහුගේ ඉකිලි ප්‍රදේශයට වැඩි රුධිර ධාරාවක් ගලාගිය හෙයින් ඔහුගේ සිතුවිලි මාලාවට බාධා සිදුවුණි.

එන්වී ඇයගේ ශරීරය ඔහුගේ ශරීරය දෙසට තදින් තල්ලු කලේ එමගින් ඇයට ඉතා වේගයෙන් ආපසු යාමට අවස්ථාවක් ලැබෙන බැවිනි. "මම ආවේ ඔයාට දෙයක් දෙන්නයි" යනුවෙන් ඇය පිළිතුරු දුන් අතර ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා නැටුම් බිමේදී තමාට දැනුණු දැඩි ආශාව ඇගේ දෑස් වෙත යොමු කළාය.

"මම බලාපොරොත්තු වෙනවා මම හිතන දෙයම, ඔයා කියයි කියලා," ට්‍රෙවර් කෙඳිරිගාමින් කීවේ, ඇගේ අත ඔහුගේ ඉකිලි ප්‍රදේශය පිරිමදිනු ඔහුට දැනුනු බැවිනි.

“අපි හොයලා බලමු,” කියමින් එන්වී, ඔහුගේ ඉකිලි ප්‍රදේශය වෙත තම අතවූ ටේසරය තද කළාය. ඔහු ගැහෙමින් ශබ්ද නොනගා දණින් වැටුනි. "අපොයි!" කී එන්වී, අනෙක් පස බලා පලා යාමට පෙර ටේසරය යලිත් තම සාක්කුවේ දමා ගත්තාය. ඇයට කිරීමට අවශ්‍ය නොවූ අවසන් දෙය වූයේ නැවත දෙපයින් නැගී සිටීමට ට්‍රෙවර්ට ශක්තිය ලැබුණු විට එතැන රැඳී සිටීමයි.

එන්වී අඳුරු නැටුම් බිම හරහා යන විට, යමෙකු ඇගේ අත තදින් අල්ලා ගත්තේය. ඒ ඇයගේ සහෝදරයා යැයි සිතමින්; ඇය වහාම ඔහු දෙස හිස ඔසවා බැලුවේ නැති නමුත් විශ්වාසයෙන් ඔහු පසුපස ගියාය. තමාව රැගෙන ආ තැනැත්තා දෙස බැලීමට ඇය හිස ඔසවනවාත් සමගම කුඩා දොරක් විවෘත වූ අතර ඇයව එය වෙතට තල්ලු විය.

ඇතුළුවූ දොර වැසී අගුලු වැටීමට පෙර එන්වී හට හැරී බැලීමට කාලයක් නොතිබිණි. කාමරයේ තිබූ රූපවාහිනී තිරයන්ගෙන් විහිදුණු එළියෙන් ඇය දුටුවේ කූඩුවේ සිටි පුද්ගලයා තමා සමග සිටින බවයි. කතා කිරීමට ඇය තම කට ඇරියද ඔහු ඇයව නැවැත්වීය.

"මම සිතුවේ ඔයා කාර්යාලයේ ආරක්‍ෂාවෙලා ඉඳගෙන ඔයා කරපු වැඩේ දිහා බැලුවොත් හොඳයි කියලයි", ඩෙවෝන් සිනාසෙමින් එක් රූපවාහිනී තිරයක් දෙසට ඇඟිල්ල දිගු කළේය.

එන්වී තිරය දෙස බැලුවේ, ට්‍රෙවර් ඔහුගේ ඉකිලි ප්‍රදේශය අල්ලාගෙන සිටින ආකාරය දුටු විට ඇයට සිනායනු ඇතැයි සිතමිනි ... නමුත් ඒ වෙනුවට ඇයට ඔහු ගැන දැනුනේ දැඩි ශෝකයකි. ඇගේ හදවත අඟල් කිහිපයක් පහත වැටී ඇති බවක් ඇයට දැනුනි. ඔහු වේදනාවෙන් සිටින බව දුටු එන්වී, මොනිටරයේ ශබ්දය නොමැති වීම ගැන සතුටු වූයේ ඔහු කියන දේ දැන ගැනීමට ඇයට අවශ්‍ය නැති බව ඇයට නිසැකව පසක් වූ බැවිනි.

සමූහයා අතරින් චැඩ් සහ ජේසන් පැමිණ නැගී සිටීමට ඔහුට උදව් කරන අයුරු ඇය නිහඬව බලා සිටියාය. ඔවුන් කියන දේ ඇයට පැවසීමට නොහැකි වූ නමුත්, තත්පර කිහිපයකට පසු ට්‍රෙවර්, ඔහු ටේසරයෙන් පහර කෑමට පෙර සිටියාට වඩා වැඩි ශක්තියකින් චැඩ්ව වේගයෙන් ඔහුගෙන් ඉවතට තල්ලු කළ විට ඔවුන්ගෙන් එක් අයෙකුට හෝ තුවාල වීමට පෙර එදෙසට යාමේ අදිටනින් ඇගේ දෑස් නැවත දොර දෙසට යොමු විය.

නර්තන ශිල්පියා, ඇය සහ දොර අතර සිටගෙන සිටි අතර අනතුරු ඇඟවීමේ සලකුණක් ලෙස තම හිස සොලවනවා දුටු එන්වි, මොනිටරය දෙස ආපසු හැරී බැලූ අතර, ට්‍රෙවර්ගේ දෑත් හිරකර අල්ලා ගත් ජේසන් දැක ඇත්තෙන්ම පුදුමයට පත් වූ අතරම චැඩ් ඔහුට මාංචු දමනවාද දුටුවාය.

මෙයාකාරයෙන් බොළඳ වීම පිළිබඳව තමා කෙරෙහිම තරහක් දැනෙන බව තේරුම්ගත් ඇය, චැඩ් වෙතට ගොස් ට්‍රෙවර් හට යන්නට ඉඩ දෙන ලෙස ඉල්ලීමට දොර දෙසට ගමන ආරම්භ කළාය. ඔහු නැවතත්, ඇගේ අත අල්ලා ගත්තේය. පැහැදිලිවම මේ ක්‍රියාදාමයන් ආරම්භ කිරීම ඇගේ වරදක් බව ඇයට පසක් විය. වරදකාරී හැඟීම ඇයගේ කෝපය වැඩි කළ අතර ඇගේ ධෛර්යය අලුත් කළේය.

"මම මිනිහෙක්ව ටේසර් කරාට පස්සෙත්, ඒක හොඳ අදහසක් කියලා ඔයා සිතනවාද?" ඇය තම දෑස් ඔහුගේ දෑස් දෙසට හරවා බැලූ අතර එහි බලපෑමෙන් ඇගේ හුස්ම හිර නොකර ගැනීමට උත්සාහ කළාය. ඇය දැන් වඩාත් සමීපව බලන කල, ඔහුගේ දෑස් සිර කූඩුවේ සිටියාටත් වඩා විශ්මය ජනක විය.

“ඒ පිරිමි ටික කවුරු වුනත්, ඔයා ආයෙත් නටන්න යන්න ඉස්සරවෙලා අරයව සමාජ ශාලාවෙන් එලියට ගෙනියන්න අනිත් දෙන්නට ඉඩදෙන්න ඔයාට ඕනේ වෙයි”, ඇගේ දෑස් ගිනි දැල්වෙන අයුරු බලා සිටිමින් ඩෙවෝන් නැවත අනතුරු ඇඟවීය. ඇය විසින් තුවාල කල පුද්ගලයා බේරා ගැනීමේ දැඩි අවශ්‍යතාවය ඇගෙන් විද්‍යමාන වනබව ඔහුට පෙනුණි ... ඇයට ඒ සඳහා ඉඩ දීමට ඔහුට කිසිදු අදහසක් නොතිබුණි. "ඔයාගේ නම මොකක්ද?"

"ඇයි?" එන්වී ඇයගේ අත ඔහුගේ ග්‍රහණයෙන් ඉවතට ඇද ගත්තාය. "එතකොට අයිතිකාරයන්ට කියලා මාව සමාජ ශාලාවෙන් තහනම් කරන්න පුළුවන් හින්දද?"

"එහෙම නැහැ," ඩෙවෝන්ද ඒ අදහස ගැන සිතමින් ගොරෝසු ලෙස කීවේය. "ඒ උනාට මේ රෑ පුරාම ඔය ටේසරය ඔයාගේ සාක්කුවේ තියා ගන්න වෙයි." ඇය නැවතත් රූපවාහිනී තිරය දෙස ආපසු හැරී බලනු දුටු ඔහුද එදෙස බැලූ අතර ඇයගෙන් පහර කෑ තැනැත්තා පෙනෙන්නට නොසිටි බව දුටුවේය.

‘අපරාදේ,’ යනුවෙන් තම මනසින් සුසුම්ලමින් එන්වී දොරට හේත්තු වූ අතර එහි ලී අතරින් සංගීතයේ කම්පනය ඇයට දැනුණි. ඇය බොහෝ දුර ගිය බව දැන ඇය ඇගේ යටි තොල සපා ගත්තාය. මේ රාත්‍රියේ සඳ රැඟුම වෙත පැමිණීමට තුඩුදුන් අනෙක් හේතුව ඇයට සිහිපත් වූ අතර රැකියාවක් ඉල්ලීමට මෙය හොඳ අවස්ථාවක් දැයි කල්පනා කළාය. ඇය මනස සොලවා "එයාලා මෙතන වැඩ කරන්න කවුරුවත් හොයනවද කියලා ඔයා දන්නවද?", කියා ඇසුවාය.

තම දෙතොල පුරා පැතිරී යන මද සිනහව පාලනය කිරීමට ඩෙවෝන්ට නොහැකි විය. ඇය තුළ ඇති ගින්න මෙල්ල කිරීමට ඔහුට හැකි වන පරිදි ටික වේලාවක් ඇයව ඔහු සමඟ එම කූඩුව තුළට ගෙන යාමට ඔහු ඕනෙම දෙයක් දීමට සූදානම්ව සිටියේය. "ඔයා නටනවාද?" ඔහු බලාපොරොත්තු සහගතව විමසීය.

ඔහු කූඩුවේ සිටිමින් තමා දෙස බලා සිටි ආකාරය මතක්වූ එන්වීගේ දෑස් විශාල වූ අතර ඇගේ කලවා ගිනිගෙන දැවෙන්නාක් මෙන් දැනුණි ... නමුත් කනගාටුවට කරුණ නම් ඇගේ කම්මුල්ද රතු වීමයි. “නැහැ,” ඇය මදක් කලබලයෙන් කීවාය. “නටන්නේ නැහැ, මම මේ පැත්තේ වෙනත් සමාජ ශාලා වල බාර් එක බලා ගන්නවා. ඉතින් මම මෙහේ ඉන්න වෙලාවේ මට අයදුම්පතක් ඉදිරිපත් කරන්නයි හිතුවේ.”

"අපරාදේ" කී ඩෙවෝන් සිනාසෙමින් ඉදිරියට ගොස් මේසයෙහි තිබූ ලාච්චුවක් විවෘත කළේය. ඔහු අයදුම්පතක් ගෙන ඇයට භාර දුන්නේය. ඇය තවමත් ඇගේ නම ඔහුට පවසා නොතිබුණි, නමුත් ඇය ලවා ඔහු අයදුම්පත පුරවා ගත්විට, ඔහුට අවශ්‍ය සියලු තොරතුරු ඔහු සතුවනු ඇතිබව ඔහුට සිතුනි. එලෙසම ඇය නයිට් ලයිට් සඳහා වැඩ කර නොමැති බවට වග බලා ගැනීමට ද ඔහුට අවශ්‍ය විය.

ඔවුන් විසින් මිනිසුන්ව හොර රහසේ රහසේ තම සමාජ ශාලාවට එවීම නිසා ඔහු වෙහෙසට පත්වී සිටියේය. කූගර්වරු සහ ජගුවර්වරුන් අතර මිත්‍රකම අවසන් කළේ ක්වින් විසිනි, එබැවින් ඔහුට හැඟී ගිය පරිදි කූගර්වරුන්ට ඔවුන්ට පාඩුවේ සිටින්නට ඉඩ දී සිටිය යුතුව තිබුණි.

නයිට් ලයිට් හි කිසියම් කෙනෙකු විසින්, ඔවුන් සේවයට බඳවා ගත් අවසන් පුද්ගලයා ඔවුන් වෙත එවා තිබූ අතර, දැන් ඇයව කිසිවෙකු විසින් ඝාතනය කර ඇති විට, කූගර්වරු එයට පිළිතුරු ලබා ගැනීම සඳහා සඳ රැඟුම දෙස බලා සිටියහ. ... පොලිස් භටයින් ද එසේ විය. ඔහුගේ වාසනාවට, ඇය මෙහි වැඩ කළ එකම රාත්‍රිය එය වූ අතර, ඔහු සමඟ කූඩුවට ඇතුළු වීමට ඉඩදෙන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

ඇයට දිගු වේලාවක් කාමරයේ ගත කිරීමට හැකි හොඳම ක්‍රමය තේරුම්ගත් ඩෙවෝන් මේසය යටින් පුටුව ඇද එලියට ගත්තේය. "ඔයාට දැන් මේක පුරවන්න පුළුවන්. සමහර විට රාත්‍රිය ඉවර වෙනකොට ඔයාට වෙනත් රස්සාවක් ලැබෙන්නත් පුළුවන්.”

එන්වී පුටුවේ අසුන් ගත්තද, මුහුණ ඔසවා මොනිටරය දෙස බැලුවේ නළල රැලි ගන්වමිනි. "ඔයා හිතන්නේ මේකේ අයිතිකාරයා මම ට්‍රෙවර්ව ටේසර් කරනවා දැක්කා කියලද?" එම දර්ශනය කෙබඳු විය හැකිදැයි සිතමින් ඇය ඇගේ යටි තොල සපා ගත්තාය. "ඇත්තටම මම එහෙම නොකෙරුවානම් හොඳයි."

ඇය සමඟ මොනිටරය දෙස බලනවාක් මෙන් ඩෙවෝන් ඇගේ පුටුවේ පිටුපසට හේත්තු විය. ඔහුගේ තොල් ඇගේ කන ළඟට තබා ඔහු ඇසුවේ, "අයිතිකාරයා දැකලා ඒ ගැන ඔයාගෙන් ඇහුවොත්, ඔයා මොකක්ද කියන්නේ?” ඇගේන් විහිදුන සුවඳ ඔහුගේ රුධිරය උණුසුම් කරමින් තිබූ අතර ඔහු සෙමෙන් එය ආග්‍රහණය කළේය.

එන්වී හිස හරවා ඔහු දෙස බැලීමට පටන් ගත් නමුත් එය නවතා දැමුවාය. ඔහුගේ සමීපභාවය නිසා ඔහු ගෙන් විහිදුන සංවේදනයන් ඇගේ උරහිස හරහා සහ බෙල්ලේ පැත්ත දක්වා පැතිරී තිබුණි. "මම නපුරු වුනා" කියමින් ඇය හුස්ම ගත් අතර, ඇගේ ශරීරයේ මැද කොටසෙහි නැවතත් රස්නය එකතු වන බවක් දැනුනාය. මෙම මිනිසා ඇගේ ඉන්ද්‍රියන්ගේ සංවේදනයට භයානක ය. ආපසු හැරී ඔහුව ලෙවකෑමට හෝ ආවරණයක් සොයා දුවන්නට දැයි ඇය දැන සිටියේ නැත.

ඩෙවෝන්ගේ තොල් කෙලවරින් සිහින් සිනහවක් මතුවූ නමුත් ඔහු සිය ස්ථානයෙන් ඉවත් නොවීය. "ඉතිං, හොඳ හේතුවක් නැතුව ඔයා හැම වෙලේම කොල්ලන්ව ටේසර් කරනවාද?" ඇයගේ සිරුරේ උද්දීපනය ඔහුට දැනුන අතර එමගින් ඔහු ඇඳසිටි කලිසම අපහසු ලෙස ඔහුට දැනුනි.

"නැහැ," ඇය ඉදිරිපිට කුඩා රඳවනයේ තිබූ තීන්ත පෑනක් ගෙන අයදුම්පත පිරවීමට පටන් ගත් විට තම අවධානය වෙනතකට යොමු වීම ගැන එන්වී සතුටු වූවාය. “ඇත්තටම ඒකට සුදුසු අයව විතරයි,” ඇය පිළිතුරු දුන්නේ ඒ ගැන කතා කිරීමට නොකැමතිවය.

ඩෙවෝන් ඔහුගේ උපරිම උසින් සිටගෙන ඇයව පුටුවෙන් එළියට ගෙන ඔහුට මුහුණලා මේසය මත ඉන්දවීමට පැමිණි පෙලඹවීමට එරෙහිව සටන් කළේය. කෙසේ වෙතත්, ඔහු ඒ වන විටත් පුටුවේ පිටුපසට විසිරී ගිය ඇගේ සිනිදු සේද කොණ්ඩය තම ඇඟිලි අතර අතුල්ලමින් සිටියේය.

ඇය අයදුම්පත පුරවන විට ඔහු නිශ්ශබ්දව සිටි අතර ඇය පිරවූ සෑම වචනයක්ම ඇගේ උරහිසට ඉහළින් කියවීය. එන්වී සෙක්ස්ටන්, එලෙසම කූගර් සහ වැම්පයර් සමාජ ශාලා ඇය වැඩ කළ සමාජ ශාලා ලැයිස්තුව තුල නොතිබෙනු ඔහු දිටීය. ඉක්මන් දුරකථන ඇමතුම් කිහිපයක උදවුවෙන් අනිත් සමාජ ශාලාවලින් ඇයව ඉවත් කොට ඇය වෙනුවෙන් වැඩි කාලයක් නිදහස් කළ හැකි බව ඔහු දැන සිටියේය. මේ දරුණු බැළලියව අන් සමාජ සමග බෙදා ගැනීමට ඔහුට සිත් නොදුන්නේය.

එන්වී අයදුම්පත පිරවීම අවසන් කර නැගී සිටීමට උත්සහා ගත් නමුත් ඩෙවෝන් ඇයව ඉඳුවා තබා ගැනීමට ඇගේ උරහිස මත අත තැබීය. ඔහු ඉක්මනින්ම ඇයගෙන් කඩදාසිය රැගෙන දොර වෙත ගමන් කළේය.

"මෙහෙට වෙලා ඉන්න. උත්තරයක් අරගෙන මම විනාඩි කිහිපයකින් ආයේ එන්නම්,” ඩෙවෝන් දොරේ අගුල වෙත අත තිබූ නමුත් ඇය කතා කරනු ඇසී මදක් නතර විය.

"ඔයාගේ නම මොකක්ද?" එන්වී ඇසුවේ තම අයදුම්පත මෙහි අයිතිකරුට පමණක් ලබා නොදිය යුතුදැයි කල්පනා කරමිනි. සමහර විට ඇයට සම්මුඛ පරීක්ෂණය පවා මඟ හැරීමට ඉඩ ඇත.

ඔහු පිළිතුරු දුන්නේ, "ඩෙවෝන් සැන්ටොස්," කියා වන අතර ඇය ඔහුව නවත්වන්නට පෙර දොරෙන් පිටතට අතුරුදහන් විය.

නික්ගේ සුවඳ දැනුන නිසා ඔහු දොරෙන් පිටතට වී බලා සිටින බව ඔහු දැන සිටියේය. ඇයගේ අයදුම්පත නික් වෙත භාර දෙමින් ඩෙවෝන් ඔහුට දන්වා සිටියේ, "අපට අලුත් බාර් ටෙන්ඩර් කෙනෙක් ඉන්නවා" කියා ය. තම සහෝදරයා දැනටමත් පරීක්‍ෂා කළ දේම තමාද පරික්ෂා කරන බව දැන නික් කඩදාසියේ තිබූ දේ දෙස බලා සිටියේය.

නික්, වැම්පයර් කණ්ඩායම් කිහිපයක් එලවා දමා තිබු අතර එක් වැම්පයරයෙකු ඒ අතරින් ලිස්සා ගොස් තිබුන බැවින් ඔහුගේ රාත්‍රී මනෝභාවය විනාශ වී තිබුණි. ඔහු වැම්පයර්වරුන්ට හා ඔවුන් සමඟ ගැවසීමට තරම් මෝඩවූ ඕනෑම මනුෂ්‍යයෙකුට වෛර කළේය. මෙම ගැහැණු ළමයා ඔවුන් සමඟ ඇසුරු කළ බවට කිසිඳු ඇඟවීමක් අයදුම්පතෙහි නොදැකීම මෙන්ම එම දැරිය නිසා තම සහෝදරයාගේ ශරීරයේ වූ උද්දීපනය දැනීම නිසා නික්, ඩෙවෝන්ට තමාගේම කටයුතු කිරීමට ඉඩ දීමට තීරණය කළේය.

ඔහු අවසානයේදී අයදුම්පත ආපසු දුන්නේය, "ටේසර් එක ගෙදර තියාගන්න කියලා එයාට කියන්න." නික් සිය සහෝදරයා දෙස මොහොතක් බලා, "කැට් කිව්වේ, මේ ළමයා ටේසර් කරපු කෙනා එයාගේ පෙම්වතා කියලත්, මාංචු දාලා එයාව අරගෙන ගිය කෙනා එයාගේ සහෝදරයා කියලත්” ය.

“ඒ පෙම්වතා ළඟ තුවක්කුවක් තිබුණා. මට ඒකෙ සුවඳ දැනුනා.” ඩෙවෝන් උරහිස් ගස්සා පිළිතුරු දුන්නේය. “සමහර විට ඒකා එච්චර හොඳ පෙම්වතෙක් වෙන්න නැතුව ඇති" ඔහුගේ දෑස් පියාගෙන ඔහු නැවත කීවේය.

"ඔයා එයා ළඟ ටිකක් ප්‍රවේශම් වෙලා ඉන්න ඕනේ වෙයි." නික් හිස සැලුවේ ඔහුගේ සොහොයුරාගේ දෑස් තුළ පෙරටත් වඩා උනන්දුවක් දිස්වූ විට ය. "ඔයාට එයාව ඕනේ නම්, එයා මෙහෙ ඉන්නකොට එයාව පාලනය කරන එක ඔයාට භාරයි." වැම්පයර් වරුන්ගේ සුවඳ දැනුනු නික්, දත්මිටි කමින් තව කිසිවක් නොකියා පඩිපෙල දිගේ ආපසු ගියේය.

එන්වී චංචල ස්වභාවයෙන් වටපිට බැලූ අතර ඇය මීට පෙර නොදුටු සෝපානයක් දුටුවාය. සරල බොත්තමක් වෙනුවට එහි යතුරු පුවරුවක් තිබෙනු දුටු ඇය තම සියුම් ඇහිබැම ඉහළට එසෙව්වාය. පෑනෙන් මේසය මතට තට්ටු කරමින් ඇය කොපමණ වේලාවක් බලා සිටිය යුතුදැයි කල්පනා කළාය. චැඩ් ඇත්ත වශයෙන්ම ට්‍රෙවර්ව අත්අඩංගුවට ගත්තාද නැතහොත් ඔහුව සමාජයෙන් ඉවත් කිරීමට සැලැස්සුවේද යන්න ඇයට දැනගැනීමට අවශ්‍යව තිබුණි.

ඇගේ මනස එයින් ඉවත් කර ගැනීමට උත්සාහ කරමින් ඇය මේසය වටා බැලූවාය. චැඩ් එය වසන් කිරීමට උත්සාහ කළද, ඇය ඇගේ සොහොයුරා මෙන්ම උපතින්ම පරීක්‍ෂා සහගත තැනැත්තියක් වූවාය. සත්‍යය නම්, චැඩ් විශිෂ්ට රහස් පරීක්ෂකයෙකු වනවා නියතය. ඔහු සෑම කෙනෙකුටම පැවසුවේ ඔහු නිකම් පොලිස් නිලධාරියෙකු පමණක් බව වූ නමුත් එය කොතැනකවත් සත්‍යයක් නොවන බව ඇය දැන සිටියාය. ඔහු විශේෂ ආයුධ සහ උපක්‍රම කණ්ඩායමේ නායකයා විය.

අන්තිමේදී කල්පනාවකින් තොරව ඇය තමා අතට ගත් කඩදාසිය දෙස බැලුවාය. එය සැපයුම් කුවිතාන්සියක් විය. පතුලේ සඳහන් නම බැලීමට ඇය සැපයුම් කිරීමේ තොරතුරු හරහා ඇගේ බැල්ම කඩදාසිය පතුල දක්වා ගෙනගියාය. ඉන්පසු ඇය තරහින් කඩදාසි කැබැල්ල මේසය මතට විසිකර දැමුවාය. ඩෙවෝන් සැන්ටොස් ... අපොයි. ඔහු මෙහි හිමිකරුවෙකු වූ අතර තමා නර්තන ශිල්පියෙකු පමණක් යැයි සිතා ගැනීමට ඇයට ඉඩ හැරි බව තේරුම් ගත්තාය.

ඒ මොහොතේම කාර්යාලයේ දොර විවෘත වූ අතර ඩෙවෝන් නැවත ඇතුළට පැමිණියේය. "ඔයාට කවදා ඉඳන්ද වැඩ පටන් ගන්න ඕනේ?"

*****

නික් නැටුම් බිම හරහා ගොස් පිවිසුම් දොරටුව වෙත යන පඩිපෙල දිගේ දිව ගියේය. ඔහු අවශ්‍ය ප්‍රමාණයට වඩා බලයක් යොදා දොර තල්ලු කළ අතර ආරක්ෂක නිලධාරියා පසු කර යාමට උත්සාහ කරන මිනිසා දෙස බැලුවේය. කරදර කරන්නන් සහ අනවශ්‍ය පුද්ගලයින් ඇතුළු වීම වැළැක්වීම සඳහා හෝ ඔවුන්ව පරිශ්‍රයෙන් ඉවත් කිරීම සඳහා රඳවා සිටි සේවකයින්ගෙන් වැඩි දෙනෙක් මාරුවන්නන් වූ හෙයින් බාහිර සලකුනු නොමැති විට පවා වැම්පයර් වරුන්ගේ සුවඳ මගින් ඔවුන්ව හඳුනා ගැනීමේ හැකියාව තිබුණි.

සාමාන්‍ය වැම්පයර්වරයෙකුගේ විලාසිතා රටාව ගොත් සමූහයාගෙන් ඉගෙනගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපය තුළදී, ව්‍යාපාරික ඇඳුම් කට්ටල හෝ නිතිපතා සමාජයේ මිනිසුන් පළඳින ඇඳුම් ඇඳගෙන සිටි දහ දෙනෙකු පමණ ඇතුළට යාමට උත්සාහ කළ අතර, පෙනුම මත රඳා පවතිනවාට වඩා ඔවුන් දැන් සුවඳ කෙරෙහි විශ්වාසය තැබීමට හේතුව එය විය. නීති අංක එක ... අයිතිකරුගේ අවසරයක් නොමැතිව වැම්පයර්වරුන් ඇතුලට ගත නොහැක.

“ඔයාට මෙහෙ තියන කාරනාව මොකක්ද?” නික් ඇසුවේ ඇතුලට යාම සඳහා එතැන බලාසිටි මිනිසුන් වෙනුවෙන් වෘත්තීයමය ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීමෙනි. එම මිනිසා හිස දෙපසට වනා නපුරු සිනහවක් නැගූ අතර නික්ගේ උදරය වෙව්ලන්නට විය.

"මම ඇතුළට යන්න කැමතියි." තම කළු ඉංගිරියාව විශාල කරමින්, වැම්පයර්වරුන්ගේ බලහත්කාරය යටතට පත් විය හැකි ඕනෑම අයෙකුව තම බලතල උපයෝගී කර ගනිමින් යටත් කරගන්නා ආකාරයට රැව්න් පැවසීය.

නික් ඔහුගේ ඉහළ සිට පහළට බැලුවේය. ඒ තැනැත්තා කළු පැහැති කෙස් කළඹක් සහිතව එහි කෙරවලවල් නියොන් රෝස පැහැ ගන්වා සිටි අතර ඒවා ඔහුගේ මුහුණට පහළින් එල්ලී තිබුණි. ඔහු තරුණ කෙනෙකු විය; බොහෝ විට විසිපහක් වත් නැති පෙනුමක්, ඉතා සුදුමැලි සම සහ ඔහුගේ ඇස් වටා තද අයි ලයිනර් තිබුණි. ඔහුගේ තොල් කළු ලිප්ස්ටික් වලින් ආලේප කර තිබූ අතර ඔහුගේ නියපොතු පවා කළු පැහැයෙන් වර්ණාලේප කර තිබුණි.

"සමාවෙන්න මහත්මයා ..." නික් වැම්පයර්ගේ සෑම චලනයන් දෙසම බලා සිටිමින් පැවසුවේය. ප්‍රමාණය හෝ වයස කුමක් වුවත් වැම්පයර්වරුන් ඉතා අනතුරුදායක වූ අතර ඒවා අවතක්සේරු නොකළ යුතුය.

“රැව්න්, මට රැව්න් කියලා කියන්න,” මිනිසා පිළිතුරු දෙමින් පැවසුවේ ඔහුට ජගුවරයෙකුව කෙතරම් දුරකට තල්ලු කළ හැකිදැයි කල්පනා කරමිනි.

"සමාවෙන්න රැව්න්, අපි අද උපරිමයටම පිරිලා." නික් පැහැදිලි කළේ, ඔහුගේ ඇඟිලි තම කබායේ සාක්කුව තුලවූ කුඩා පිස්තෝලය මත තබමිනි. එහි තිබූ හිස් රිදී උණ්ඩ, ශුද්ධ වූ ජලයෙන් පුරවා තිබුණි. ඔහුගේ තොල් කෙලවරේ කෘෘර සිනහවක් මතුවුයේ, තම යටි බාහුවට බැඳ තිබූ කිනිස්සෙහි ලී මිට ඔහුට දැඩිව දැනුනු නිසාය.

"එහෙනම් ඇයි මේ මිනිස්සු තාමත් පෝලිමේ ඉන්නේ?" රන්වන් පැහැය, ජගුවරයාගේ කළු ඉංගිරියාව අභිබවා යාමට පටන් ගැනීම දුටු රැව්න් ඇසුවේය.

නික් සිනාසුණත් ඔහු දත්මිටි කන බවක් දැනුනි. "එයාලා කලින් වෙන් කිරීම් කරලා තියන අය."

අභ්‍යන්තර ගින්නකින් අශුභ ලෙස බැබළෙන බවක් පෙනුණු රැව්න්ගේ දෑස් මඳ එළියකින් මොහොතකට බැබළුණි. නික් පඩිපෙලෙහි පියවර තුනක් බැස වීථි මට්ටමට ලඟාවී රැව්න් සහ මිනිසුන් සමූහය අතර මැද සිටගෙන රැව්න් ගේ කණට ළං විය.

කිසිවෙකුටත් නොපෙනෙන ලෙස රැව්න්ගේ ඉළ ඇටයට ලී කිනිස්ස තදකෙරූ ඔහු “දැන් යන්න, වැම්පයර්,” යනුවෙන් කීවේය. ඔහු මෙය කීවේ ඉතා සන්සුන්ව ය. "ඔයා ඇතුලට යන්නේ නැහැ."

නික් කෙළින් වී ඔහුගේ දෑත් නවාගෙන සිටියේ හදිසියකදී තම කිනිස්ස ඇද, ඇනීමට එය පහසු ඉරියව්වක් වූ බැවිනි. "මට සමාවෙන්න සර්, සුභ සන්ධ්‍යාවක් වේවා."

රැව්න් නැවතත් සිනාසුණ අතර, “ඕ, මම සැලසුම් කරන්නම්” යනුවෙන් දැඩි සිනහවක් සමග පැවසීය.

ඔහු දොරෙන් ඉවතට හැරී ඔහුගේ කළු පැහැති ජීන්ස් සාක්කුවේ දෑත් ඔබාගෙන, අශෝභන හඬක් නඟමින් වීදිය දිගේ ඇවිදීමට පටන් ගත්තේය. ජගුවරයා ඔහුගේ කනට කොඳුරන්නට පහත් වන විට තම ස්වාමියා ඔවුන් පසුකර සමාජ ශාලාවට ලිස්සා ඇතුළුවූ බව රැව්න් දුටුවේය. ඔහු කලකින් කේන්ව දැක නොතිබුණි. ඇත්ත වශයෙන්ම, ඔහුගේ ප්‍රධානියාගේ දෑස් ඔහු දෙස බලා සිටින බව ඔහුට බොහෝ වාරයක් දැනී තිබුනත් සති කිහිපයකට පසු ඔහු දුටු පළමු අවස්ථාව මෙය විය.

රැව්න් පුදුමයට පත්වූ දෙය නම් කේන් කැමැත්තෙන්ම තම සතුරන්ගේ ගුහාවට ඇතුළු වීමයි. මෙම ජගුවාර් වංශයේ නායකයා විසින් තමන්ව පණපිටින් භූමදානය කරන ලද කතාව මාස්ටර් ඔහුට පවසා තිබුණි. ඔහුගේ ස්වාමියාට තමාගේම සැලැස්මක් තිබේද?

‘ඔවුන් ඔයාව කොටු කළා, මගේ ස්වාමියා, නමුත් මේ සැරේ එයාලගේ අත්වල ලේ තැවරෙනවා කියලා මම වග බලා ගන්නවා.’ සෙවනැලි සමඟ මිශ්‍ර වීමට පෙර රැව්න් තමාට මුමුණා ගත්තේය. ඔහුට වැඩි වේලාවක් බලා සිටීමට සිදු නොවන බව ඔහු දැන සිටියේය. සඳ රැඟුම දෙසට හමන සුළඟ සමග ඔහුට හමා ආවේ ඔහුගේ නවතම වින්දිතයාගේ ලේ සුවඳයි.

*****

චැඩ් සහ ජේසන් විසින් අවාසනාවන්ත පෙම්වතාට සමාජ ශාලාවෙන් එළියට යාමට උදව් කරන අයුරු කැට් බලා සිටියාය... මාංචුද සමග. කුතුහලය නිසා බළලා මිය ගිය බව ඔවුන් සැම විටම පැවසූ නමුත්, ඔහුට කුමක් කිරීමට ඔවුන් සැලසුම් කර ඇත්දැයි සොයා ගැනීමට ඇයට අවශ්‍ය විය. එය අන් කිසිවකට නොව, මුළු රාත්‍රිය පුරාම ඒ ගැන කල්පනා නොකර සිටීමටය.

පැති දොරකින් එළියට බැසගත් ඇය සෙවනැලි අතර සිටිමින් ඔවුන් පසුපස ගියාය. ඇයගේ දැඩි සංවේදන ඉන්ද්‍රියන් සමඟ, ඔවුන් කියන දේ ඇසීමට ඇයට එතරම් සමීප විය යුතු වූයේ නැත.

චැඩ් සහ ජේසන් විසින් ට්‍රෙවර්ව, ඔහුගේ කාරය සහ පොලිස් කාරය අතර හිරවන සේ නතර කළ නිසා එන්වීගේ කලබලයට පත් පෙම්වතාට නැවත සමාජ ශාලාවට ඇතුළුවීමට අවස්ථාවක් නොතිබුණි. සාධාරණ හේතුවක් නොමැතිව... එනම් ට්‍රෙවර් ඔහුව තල්ලු කළහොත් පමණි, ඔහුව අත්අඩංගුවට ගත නොහැකි බව දැන චැඩ් ඔහුගේ දෑතින් මාංචු ඉවත් කළේය.

"මම ඔට්ටු අල්ලනවා, මම ආවා කියලා එයාට කිව්වේ ඔයා කියලා!" ට්‍රෙවර් ජේසන්ට කෑ ගැසුවේය. “ඔයා එයා වෙනුවෙන් දරන වෙහෙස මම දැක්කේ නැහැ කියලා හිතන්න එපා. ඔයාගේ නහය අනිත් අයගේ වැඩ වලින් අයින් කරගෙන ඉන්න බැරි උනා නේද?"

ජේසන් තර්ජනාත්මක පියවරක් ඉදිරියට තබද්දී චැඩ් ඔහුගේ අත එළියට දමා ඔහු වැලැක්වීය. "ජේසන්, මම මෙතනින් එහාට වැඩේ කරන්නම්. ඇයි ඔයා ආපසු යන්නේ නැත්තේ එන්වී ව හොයා ගන්න. ට්‍රෙවර් යන තුරු එයා මෙහෙට එනවට මම කැමති නැහැ.”

"මම ආයෙත් එහෙට යන එක නවත්තන්න ඔයාට බැහැ. මම ඉන්නේ වැඩ කරන ගමන්!" ට්‍රෙවර් කිසිවක් පැහැදිලිව නොසිතා කීවේය.

“ඔව්, අපි දැක්කා ඔයා මොන මගුලද කර කර හිටියේ කියලා,” ජේසන් ඔහුගේ දෑත් මිට මෙලවූ නමුත් චැඩ් ඔහු දෙස බැලූ විට, ඔහුට තේරුම් ගියේ තමා වහාම නැවත ඇතුළට යා යුතු බවයි. ඔහුගේ විලුඹ මත කැරකෙමින්, ට්‍රෙවර්ගේ ප්‍රයෝජනය සඳහා ඔහු තවත් එක් ප්‍රකාශයක් ඔහුගේ උරහිස මතින් බලමින් කීවේය, “ඔයාට පුළුවන් වෙයි අපිව නැටුම් බිමේදී හොයා ගන්න ... එකිනෙකා වටේ එතිලා ඉන්නවා.”

ට්‍රෙවර් ඉදිරියට පැන්න නමුත් චැඩ් ඔහුව ඔහුගේ කාරය දෙසට නැවත තල්ලු කළේය. චැඩ් පුදුමයට පත් වූයේ, ට්‍රෙවර් ඔහුගේ පෙනුමට වඩා බොහෝ ශක්තිමත් වූ බැවිනි. “මම ඔයාට අනතුරු ඇඟෙව්වා, ඔයා ඇත්ත වශයෙන්ම කවුද කියලත්, ඔයා හැම වෙලේම සමාජ ශාලාවල රැඳිලා ඉන්න ඇත්ත හේතුව කියන්නේ නැත්නම් මගේ සහෝදරියට කරදර කරන්න එපා කියලා. පිස්සු මිනිහෝ, එන්වී හිතන්නේ ඔයා නිකරුණේ ඉන්න මෝඩ කොල්ලෙක් කියලා. ඔයාට එයාව පුදුමයට පත් කරන්න ඕනේ නම්, ඔයා එයාට ඇත්ත කියන්න තිබුනා. එයාට කිසිම දවසක දරා ගන්න බැරි දේ තමයි බොරුව. විශේෂයෙන් කවුරුහරි එයාට බොරු කියනවා නම්.”

කැට් තම අවධානය ට්‍රෙවර් වෙත යොමු කළාය. මේ සියල්ලෙන් අදහස් වන්නේ මොකක්ද?

"ඔයා වගේම මමත් දන්නවා, මම රහස් නියෝජිතයෙක් කියලා මම එයාට කිව්වා නම්, මම එයා එක්ක සමාජ ශාලා වල ඉන්න නිසා, මම එයාව පාවිච්චි කරනවා කියලා එයා හැම වෙලේම හිතයි." ට්‍රෙවර් කීවේ නැවත සමාජ ශාලාව දෙසට යාමට උත්සාහ නොකරමිනි. ඔහු තම සැබෑ ශක්තිය භාවිතා කළේ නම් චැඩ් මේ වන විටත් මියගිය කෙනෙකු වන අතර ට්‍රෙවර්ද ඔහු හඹා යන මිනිසුන්ට වඩා හොඳ කෙනෙකු නොවෙනු ඇත.

එම දැනුම මගින්, ඔහුගේ සත්ත්ව සහජ බුද්ධිය පාලනය කර ඔහුව සන්සුන් කරගැනීමට පිටිවහලක් වූ අතර ඔහුට තවමත් කෝපය සන්සිදුවාගත නොහැකි විය. "එයා මාව ටේසර් කරා!"

“ඔයා පහත් ජීවිතයක් ගත කරන, වංචා කරන පෙම්වතෙක් නිසා ඔයා ඒක ලබන්න සුදුසුයි. ඒයි, එයාට ඇත්ත කිව්ව නැති නිසා ඔයාට ලැබුන දේ තමයි ඒ. ඔයාට දැන් වෙනත් බාර් එකකට ගිහින් හොල්මන් කරන්න අවශ්‍ය නැත්නම් ඔයාගේ රෑ දැන් ඉවරයි. අනික, එන්වී ගාව ටේසර් එක තාමත් තියනවා,” චැඩ් සිනාසෙමින් කීවේය. "මම ඔයාට අවවාදයක් දෙන්නම්, මුළු රෑම එයාව තනියම තියන්න ... නැත්නම් වඩාත් හොඳයි මුළු ජීවිත කාලයම, ඔයාට එයා එක්ක පිරිසිදුවට එන්න බැරිනම්."

ට්‍රෙවර් දත්මිටි කමින් සිටියා මිස වෙන කිසිවක් කීවේ නැත. ඔහුට එන්වීගෙන් ඈත්වී සිටින ලෙස කීමට චැඩ්ට අයිතියක් නැත. නමුත් ඇයව සන්සුන් කිරීමට ඉඩ දී සිටීම, බුද්ධිමත් උපදෙසක් විය හැකිය.

“හොඳයි, නමුත් ඒක,” ඔහු සමාජ ශාලාව වෙත ඇඟිල්ල දිගුකර පෙන්වා දෙමින්, “ඔයාගේ සහෝදරියට රවුම් ගහන්න හොඳ ආරක්ෂිත තැනක් නෙමයි, ඒක ඔයාත් දන්නවා නේ.” චැඩ්ගේ ඇඟට වැදීම වළක්වා ගැනීම සඳහා පියවරක් පසුපසට තැබීමට ඔහුට බල කරමින් ට්‍රෙවර් තම කාරයේ දොර විවර කළේය. ඔහුට රථ ගාලෙන් පිටත් වීමට ගත වූයේ තත්පර කිහිපයක් පමණි.

චැඩ් හට තම කාරයේ විදුලි පහන් නොපෙනෙන ලෙස, ට්‍රෙවර් පාරේ බොහෝ දුරක් ගිය පසු ඔහු ඔහුගේ ජංගම දුරකථනය ගෙන තමා හට අනුග්‍රහය ලැබිය යුතු අයෙකුට ඇමතුමක් ගත්තේය. ට්‍රෙවර් තමා වෙත අන් අයගේ අවධානය එල්ල නොවන පරිදි සමීපතම වෙළඳසැල වෙත ගොස් එහි තිබූ ට්‍රක් රථයක් පිටුපස තම කාරය නැවැත්වීය.

ඩෙවෝන් ඇය දෙස බලා සිටි ආකාරයට ඇයව සමාජ ශාලාව තුල දමා ඒමට සිදුවීම ගැන ඔහු කම්පාවට පත්විය. ඩෙවෝන් මිනීමරුවෙකු නොවුවද, ඔහුගේ එම පෙනුම හොඳ දෙයක් නොවීය. චැඩ්, එන්වී ගැන සිතීමේදී ඔහු ශක්තිමත් කෙනෙකු ලෙස සිතු බව ඔහුට වැටහුනි. ඔහු දුර්වල තැනැත්තා බව දැනගත් විට ඔහු එයට කැමති වන්නේ කෙසේදැයි ඔහුට සිතාගත නොහැකි විය. ඔහු ජේසන් හටද යමක් කලයුතු බව තේරුම් ගත්තේය.

චැඩ් හැරී, ඇගේ දිශාව බැලූ විට කැට් සෙවනැල්ලේ වඩාත් ගැඹුරට මුවා වූවාය. ඔහුට තමාව දැකිය නොහැකි බව දැන දැනත් ඇය නළල රැලි කරගත්තාය ... මාරු කරන්නන් සතුවූ රාත්‍රීයේ පෙනීමේ වරප්‍රසාදය ඔහු සතුව නොතිබුණි. තම දෑස් වලට වැටී තිබූ කොණ්ඩය සුළං පහරක් මගින් ඉවත්කළ ඇය ඔහු දෙස බලා සිටි අතර අවසානයේ ඔහු ආපසු හැරී සමාජ ශාලාවට යන විට සුසුමක් හෙලුවාය.

එසේනම්, ට්‍රෙවර් යනු රහසිගත පොලිස් නිලධාරියෙකු වූ අතර චැඩ්ගේ සහෝදරිය එය නොදැන සිට ඇත. ... පැහැදිලිවම ජේසන් ද ඒ බව නොදැන සිට ඇත. ට්‍රෙවර් පැවසුවේ ඔහු මෙහි යම් කාරණාවක් පිලිබඳ සෝදිසියක් කරමින් සිටින බවයි. එය මිනීමැරුමක් ගැන විය යුතු බව දැන කැට් ඇගේ දත්මිටි කෑවාය. ඇයට අවශ්‍ය වුයේ ඔවුන්ව හසුකිරීමේ අරමුණින්, රුධීර මාවත මෙහි සිට විහිදුවන තැනැත්තා කවුරුන්ද කියා සොයා බැලීමට වොරන් හට බල කිරීමටයි.

*****

සමාජ ශාලාවේ අයිතිකරු තමා බව ඩෙවෝන් ඇයට නොකීවේත්, ඇයව රස්සාවට නොගත්තේත් මන්දැයි කල්පනා කරමින් එන්වී සෙමෙන් නැගී සිටියේය. මිනිසුන් ඇයට බොරු කියන විට ඇය එයට වෛර කළ නමුත් ඇය ඔහුව නොදන්නා අතරම ඔහු ඇයට කිසිවක් ණය නොවූ බැවින් ඇය පැවසීමට සිතූ දේ ඇය ගිල ගත්තාය.

"ඒක හරිම ඉක්මන් දෙයක් වුනා නේ," ඇය තම පපුවට උඩින් දෑත් බැඳ ඔහු දෙස බලාපොරොත්තු සහගතව බැලුවාය.

"මම ඔයා ගැන හොඳ කිව්වා. සමහර වෙලාවට එයාලා මට ඇහුම්කන් දෙනවා.” ඇගෙන් විහිදුන සුවඳ වෙනස් වන අයුරු දැනුන ඩෙවෝන් ඇය දෙස කුතුහලයෙන් බලා සිටියේය. ඇයට ඔහු ගැන තරහා ගොස් ඇති බව ඔහුට තේරුම් ගිය අතර එලෙසම එය හොඳ සුවඳක්ද විය.


Страницы книги >> Предыдущая | 1 2 3 4 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации