Электронная библиотека » Owen Jones » » онлайн чтение - страница 3


  • Текст добавлен: 18 июня 2021, 03:40


Автор книги: Owen Jones


Жанр: Жанр неизвестен


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 4 страниц)

Шрифт:
- 100% +

3 පී පොබ් හෙන්ග්

දැඩි වෙහෙසට පත්ව නින්දට වැටුන ඔවුන් පසුදා උදෑසන අවදි වූ විට, හෙන්ග්, පොරවන රෙදිවලින් සම්පූර්ණයෙන් ආවරණයවී තම හිස මතද කොට්ටයක් තබාගෙන නිදා සිටියේය.

ඔවුන් නැඟිට හැකි ඉක්මනින් ඔහුගේ ඇඳ පසුකරමින් පහළට ගියෝය.

“අම්මේ, ඔයා ඊයේ රෑ තාත්තාව දැක්කද?” ඩෙන් ඇසීය. “එයාගේ ඇස්වලයි සමේ දීප්තියයි කාමරය එලිය කරා නමුත් ගොඩාක්ම එයාගේ ඇස් නේද? ඉස්සර ඒවා අපේ වගේ සුදුයි කලුයි නමුත් දැන් රතුයි රෝසයි… ඒ ලේ නිසා කියලා මම හිතනවා.”

“මම හරියටම දන්නේ නැහැ, නමුත් මම හිතන්නේ ඔයා හරි කියලයි. ඔයා සහෝදරිය එක්ක ගිගින් තව ලේ ටිකකුයි කිරි ටිකකුයි ගේනවා නම් හොඳයි. ඔයාට මතකද ඔයාගේ නැන්දා ලේ ගත්තු විදිහ?”

“ඔව්, අම්මේ, ඒත් මම වෙනත් එළුවෙකුගෙන් ගන්නම්, මොකද ඊයේ කෙනාට සනීප වෙන්න දෙන්න ඕනේ නේද?”

“ඔව්, හොඳ අදහසක් ඩෙන්. ලේ ගන්න සෑම දවසකම වෙනස් එළුවෙකු පාවිච්චි කරන්න, ඒ අතර ඩින්ට පුළුවන් සාමාන්‍ය විදිහට කිරි දෙවීම කරගෙන යන්න. නමුත් දැනට, එළුවන්ගෙන් ගන්න කිරි සියල්ලම ඔබේ තාත්තට, හරිද? එයාට ඒවා අපට වඩා ඕනේ වෙනවා, අනික මහා රෑ එයාව බඩගින්නේ තියන්නත් බැහැනේ, එහෙම නේද? ”

“ඔව් අම්මේ, අනිවාර්යෙන්ම ඔව්! ඊයේ රෑ නිදාගන්න මට සෑහෙන වෙලාවක් ගියා. මම හරිම බයෙන් හිටියේ තාත්තා මහා රෑ නැගිටලා කන්න මොනවා හරි නැත්නම් කන්න කාවහරි හොයයි කියලා”

“ඔයා දැන් ඒ වගේ දේවල් ගැන කරදර වෙන්න එපා ඩෙන්. මම ඔයාට වඩා තාත්තට කිට්ටුවෙන් ඉන්නේ, ඒ නිසා එයා එහෙම දෙයක් කරනවානම් මට තමයි, නමුත් එයාගේ ඇඳේ ලේ වැගිරෙන ගෝනියක් වගේ හමක් දැක්කොත් එලියට දුවන්න. ඒවගේම කවදා හරි උදේක අපේ මදුරු දැල පිටිපස්සේ ඉඳන් රතු ඇස් හතරක් ඔයා දැක්කත්.”

“හොදයි අම්මේ! මම ඉක්මනටම ලේ අරගෙන එන්නම්. ඩින් කොහෙද? ”

“මම දන්නේ නැහැ, සමහර වෙලාවට එයා දැනටමත් කිරි දොවන්න පටන් අරන් ඇති. ඔයා වැඩේ කරගෙන යන්න, මම යතුරුපැදියෙන් ඩා නැන්දාව එක්කන් එන්නම් – මම හිතන්නේ අපට ඔයාගේ තාත්තා ගැන තව උදවු ඕනේ එයාගෙන්. ඔයයි සහෝදරියයි තාත්තාව බලන්න යන්න ඉස්සර වෙලා මම ආයේ එනකන් ඉන්න, හරිද?”

“ඔව්, අම්මේ, මට දෙසැරයක් ඒ ගැන කියන්න ඕනේ නැහැ, නමුත් එයා මෙහි ආවොත් අපි මොකද කරන්නේ?”

“මම හිතන්නේ නැහැ එයා එහෙම එයි කියලා… මම ඇඳෙන් නැගිටින කොට එයා හොඳටම නිදි, නමුත් වැඩි වේලාවක් යන්නේ නැතුව අපි එනවා. එයා නැගිටිනවා නම්, එයාට සුබ උදෑසනක් කියලා ඔයාලව සිප ගන්න ඉඩ දෙන්න එපා.”

මිනිත්තු දහයකට පසු වැන් ඩා සමග ආපසු පැමිණියාය. ඩා ඇයගේ මේසයේ වාඩි වී සිටියේ හෙන්ග්ගේ නිවසේ කෙනෙකුගේ පැමිණීම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙමින්ය. ඔවුන් ආපසු පැමිනෙන විට, හෙන්ග් පහළට පැමිණ නොතිබුන අතර, ඩින් කිරි එකතු කර අවසන් කොටත් ඩෙන් රුධිරය සූදානම් කරගෙනද සිටියෝය.

“හොඳයි,” ඩා පැවසුවාය, “මම කියන්නේ එළු කිරි හා ලේ 50-50 ප්‍රමාණයකට, බැසිල් තේ හැන්දක්, කොත්තමල්ලි භාගයක් සහ මෙන්න මේකත් එකතු කරලා දෙන්න කියලයි. ඒක හොඳට කලවම් කරන්න. එයාට මේකෙන් උදේට ලීටර් භාගයක් දෙන්න, ඇඳට යන්න පෙරත් ඒ විදිහටම දෙන්න. දැනට ඒක ඇතිවෙයි. ඔහ්, එයාට කොයි වෙලාවකවත් සුදුළූණු දෙන්න එපා, එය වැම්පයර්වරුන්ට ඉතා නරකයි! අපි දැන් ගිහින් එයාව බලමු.”

“අපි උඩට යන්න ඉස්සෙල්ලා, නැන්දා ඩා, මම ඔයාට කියන්න ඕනේ, ඊයේ රෑ වැඩි කාලයක් එයා ගත කළේ ඇඳේ කෙළින් ඉඳගෙන, සුදුමැලි සමක් එක්ක දීප්තිමත්ව දිලිසෙන රතු ඉංගිරියාවක් තියන රෝස පැහැති ඇස් එක්ක. ඔහ්, එයා අපට කතා කරපුවාම! ඔහ්, මගේ බුදුන්! මම කවදාවත් ඒ වගේ දෙයක් අහලා නැහැ. එයා කියුවේ ‘පවුලේ සැමට, සුබ සන්ධ්‍යාවක්’ එතරම් අමුතු, ගැඹුරු කටහඬකින් … එය ඇත්තටම බයානකයි.”

“ඒකට කමක් නෑ දැන් … අපි ගිහින් එයාව බලමු.”

ඔවුන් කිරි සහ රුධීර මිශ්‍රණය සමඟ උඩුමහලට ගොස් කාමරයට ඇතුළු වූහ. සියලුම ජනේල වසා තිබූ බැවින් ඇතුළත අඳුරු විය. වැන් යළිත් පිටතට ගොස්, ඉටිපන්දමක් ගෙන, නූලකින් අසල එල්ලා තිබූ ලයිටරයක් මගින් එය පත්තු කොට නැවත කාමරයට ඇතුළු වූයේ ඩා සමග එක්වීමට ය. ඒ අතරතුර ඩා හෙන්ග් නිදා සිටි ඇඳ අසලට සමීප වූවාය.

ඉටිපන්දම් එළියෙන් අලුත් දෙයක් දිස් නොවූ නිසා කාන්තාවන් දෙදෙනා මදුරු දැල ඔසවා බැඳ ඇඳේ දෙපස වාඩි වූහ. වැන් ආවරණ ඉවත් කල අතර, ඔහු නිරුවතින්, උඩුබැලි අතට, දෑත් කුරුසියේ ජේසුස් වහන්සේ සිටියාක් මෙන් දිගු කොට, ඔහුගේ රතු පැහැති දෑස් විවෘත කොට සිටියේය. එලෙසම කුඩා ඉරි දෙකක් ඔහුගේ මුඛය වටාද දිස්විය.

වැන්, ඇගේ රෝගියා ගැන අධ්‍යයනය කරමින් සිටි ඩා දෙස ප්‍රශ්නාර්ථ ස්වභාවයෙන් බැලුවාය. ඇය ඔහුගේ නළල මත අත තැබූ අතර ඔහුගේ උෂ්ණත්වයේ සාමාන්‍ය වූ අතර ඇය ඒ ගැන පුදුම නොවීය.

“අද ඔයාට කොහොමද, හෙන්ග්?” ඔහුගේ බිරිඳ ඇසුවාය.

“බඩගිනියි… තිබහක් නැහැ,” ඔහු පැවසුවේ, කන්දක් මත සිට කඩා වැටෙන ගල් වල හඬ මෙන් ය.

“හරි, මගේ ආදරණීයයා, එහෙනම් වාඩි වෙන්න. අපි ඔයාට තවත් සුන්දර මිල්ක්ෂේක් එකක් ගෙනත් තියෙනවා.”

ඔවුන් දෙදෙනා ඔහුගේ කොට්ට නැවත සකස් කර, කෙළින් ඉඳගෙන සිටීමට සලස්වා ඔහුව බ්ලැන්කට්ටුවකින් ආවරණය කලෝය.

“මෙය පානය කරන්න, මගේ ආදරය, ඒක ඔයා ඊයේ ගොඩක් කැමති වුන රසයි.”

ඩා ඉන් ඉවල්පයක් වීදුරුවකට වත් කර බීමට බටයක්ද දැමුවාය. හෙන්ග් කොළ පැහැති පැලෑටි සහිත රෝස පැහැති දියර වීදුරු දෙකක් පානය කළ අතර එයින් ඔහු ප්‍රාණවත් විය. ඔහු කෙළින් ඉඳගෙන පළමු වරට කාමරය දකින්නාක් මෙන් වටපිට බැලීය.

“ඔයා ඒකට කැමතිද, හෙන්ග්? ඩා ඇහුවාය. “අපි එනකොට හිටියාට වඩා දැන් ඔයා බොහෝ ප්‍රාණවත්. අද පහළ තට්ටුවට එන්න පුළුවන් කියලා ඔයාට හිතෙනවද? හිරු එළිය ඔයාට හොඳක් වෙයි… ඔයා ටිකක් සුදුමැලි වෙලා… ඔයාට ගේ ඇතුලේ ඉඳලා පුරුද්දක් නැහැ නේද?”

ඇය විදේශීය භාෂාවක් කතා කරන ආකාරයට හෙන්ග් ඇය දෙස බැලුවේය. පසුව ඔහුගේ බිරිඳ දෙස බැලීය.

“ඔයාට වැසිකිළියට යන්න ඕනෙද, හෙන්ග්? ටික වෙලාවකින් නොගිය නිසා, ඔයාගේ පල්ලැහැ කොටස හොදින් නේද? ඔයාට දැන් වැසිකිළියට යන්න ඕනෙද? නැත්නම් මම ඔයාට බාල්දියක් ගෙනෙන්නද?”

“ඔව්, හොඳ අදහසක්, මට පහළ තට්ටුවේ වැසිකිළියට යාමට ඕනේ, ඒත් ඉස්සරවෙලා තවත් මිල්ක්ෂේක්.”

ඔහු කොපමණ ප්‍රමාණයක් ගත යුතුදැයි කාන්තාවන් දෙදෙනාම නොදැන සිටි හෙයින්, ඔහුට අවශ්‍ය ප්‍රමාණයට පානය කිරීමට ඔවුහු ඉඩ දුන් අතර හෙන්ග් මුළු ලීටරයම අවසන් කළේය.

ඩා නැවත වාඩි වී නිරීක්ෂණය කළ අතර වැන් ඔහුට ඇඳුම් ඇඳීමට උදව් කලාය. මිල්ක්ෂේක් ඇඟ තුල ක්‍රියාත්මක වන විට හෙන්ග් වඩාත් ක්‍රියාකාරී විය.

“එහෙනම් එන්න, අපි ඇඳුම් ඇඳගෙන පහළට යමු.”

ගැහැනුන් දෙදෙනා, වෙව්ලන මිනිසාගේ එක් අත බැගින් අල්ලාගෙන ඔහුට නැගිටීමට උදවු කළෝය. ඔහු ඇවිද්දේ හරියට රෝද බකල් ගැසූ බයිසිකලයක් පරිදිය. ඔවුන් ඔහුව තරප්පු පෙළ අසලට ගෙන ආ විට දීප්තිමත් ආලෝකය නිසා ඔහු මඳක් හැකිලුනු අතර, අඳුරු කාමරයක දින එකහමාරක් ගත කිරීමෙන් පසුව ඕනෑම කෙනෙකුට එසේ විය හැකිය. ඩෙන් සහ ඩින් තම පියා, නැන්දාගේ සහ බිරිඳගේ සහාය ඇතිව වෙරි වූ කෙනෙකු මෙන් පඩි පෙළෙන් බසිනු බලා සිටියහ.

ඔහු එතරම් දුර්වල හා වෙනස් පෙනුමක් ඇති බව දුටු ඔවුන් භීතියට පත් විය. හෙන්ග් සිහින් මිනිසෙකු වුවද දැන් ඔහු වැහැරී, හිම මෙන් සුදුමැලිවී ඇස් වෙනුවට රතු පැහැති කොට්ටම්බා ඇට සහිත පුද්ගලයෙකු විය. ඔහු පහලට බැස, මේසය අල්ලාගෙන තදින් හුස්ම ගත්තේය.

“ඩෙන් ඔයා ගාව තවමත් අර පරණ අව් කණ්ණාඩි දෙක තියනවාද ? මම හිතන්නේ ඇස් ටිකක් සංවේදී නිසා, ඔයාගේ තාත්තාට අද ඒවා ඕනේ.”

“ඔයාට හෙන්ග්ව තනියම වැසිකිළියට ගෙනියන්න පුලුවන්ද, වැන්, නැත්නම් ඩෙන්ගේ උදවුව ඔයාට ඕනෙද?”

“නෑ, මම හිතන්නේ මට තනියම පුළුවන්.”

ඇය ඔහුව ඉවතට ගෙන ගිය අතර, හෙන්ග් ඔහුගේ නිදහස් අත භාවිතා කරමින් ඔහුගේ දෑස් ආරක්ෂා කර ගත්තේය. මිනිත්තු පහළොවකට පසු ඔවුන් නැවත ඔහුව මේසයෙහි අසුන් ගැන්වූ විට, ඔහු එම ප්‍රයත්නයෙන් වෙහෙසට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි.

“ඩින්, උඩට ඉක්මනට ගිහින් රෙද්දකුයි කොට්ට කිහිපයකුයි ගෙන්න, කරුණාකරලා, තාත්තා අලුත් වාතය සහ හිරු එළිය ලබා ගැනීමට අද මෙතැන විවේක ගන්නවා. එයා ජීවිතයේ වැඩි දවසක් ගේ ඇතුලේ ගත කරලා නැහැ, ඒ නිසා ශරීරය ඒකට පුරුදු වෙලා නැහැ. බලන්න එයාගේ තත්වය දිහා…”

හෙන්ග් එක් කථිකයෙකුගේ සිට තවත් කථිකයෙකු දෙස බලමින් සිටියද කෙරුනාවූ සංවාදය වටහා ගත් බවක් නොපෙනුණි. ඔවුන් ඔහුව ඇඳ ඇතිරිලි සමඟ සැපපහසු අන්දමින් තැබූ අතර ඩෙන් අවුරුදු දහයකට පමණ පෙර ඉතා ඇලුම් කල තද කළු පැහැති අව් කණ්ණාඩි යුගලයද ගෙනැවිත් දුන්නේය.

එහි ප්‍රතිඵලය වූයේ, අව් කණ්ණාඩි පැළඳ සුදු රෙද්දකින් වැසූ වහලයේ කණුවකට වාරු දී සිටි කුරුල්ලෙකු ලෙස හෙන්ග්ව දිස්වීමයි.

“හොඳයි, දරුවෙනි, මම හිතනවා ඔයාලා ගිහින් තාත්තට තවත් මිල්ක්ෂේක් ටිකක් සූදානම් කළා නම් හොඳයි කියලා. ඔහු අද ගොඩක් බඩගින්නේ ඉන්නවා කියලා පේනවා. ඒක හොඳ ලකුණක්. අපි හරි දේ කරනවා කියලා එකෙන් පේනවා.”

“ඔයාට අද හොඳට දැනෙනවා, පෝ, එහෙම නේද?”

ඔවුන් සියල්ලන්ම ඔහුගේ ප්‍රතිචාරය එනතෙක් බලා සිටි අතර ඔහු බකමූණෙකු මෙන් ඔලුව වැනුවේය. ඩෙන් සහ ඩින් හිනාවෙමින් පිටත්ව ගියේ, මේසය මත දැන් සිටින සත්වයා පැය විසිහතරකට පෙර තම පියා නේද කියා සමාන කිරීමට අපහසුවෙනි.

“ඩා නැන්දා, ඔයා හිතනවද මම අද හවසට හෙන්ග්ට මොනවා හරි උයන්න ඕන කියලා?”

“එයා ඒක කනවානම්, එයාට හානියක් නැහැ, නමුත් ඒක මිල්ක්ෂේක් වලට ආදේශකයක් නොවෙයි.”

“හෙන්ග්, ඔයාට පස්සේ අපිත් එක්ක කන්න මොනවා හරි ඕනෙද?”

හෙන්ග් ඔහුගේ හිස දෙපැත්තට හරවමින් බිරිඳ දෙස බලා සිටියේය.

“ඔයා අද රෑ මොනවද උයන්නේ, වැන්?” ඩා ඇසුවාය.

“කුකුළු මස් හරි ඌරු මස් හරි…එයා කැමති ඕනෑම දෙයක්.”

හෙන්ග් තව දුරටත් කතා කරන ගැහැනුන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේ, එම භාෂාව කථා නොකරන රටක ජීවත් වන කෙනෙකු ලෙසිනි.

“ඇයි එයාගෙන් අහන්නේ නැත්තේ? එයා මෝඩයෙක් වෙලා නැහැනේ, මම හිතනවා එහෙම වෙලා නැහැ කියලා.”

“ඔයාට අද සවස කන්න මොනවද ඕනේ, හෙන්ග්, ඌරු මස්ද, කුකුළු මස්ද?”

ඔහු තත්පර කිහිපයක් ඇය දෙස බලා මෙසේ පැවසීය.

“ළමයා…”

“මොන එක්කෙනාද? කොහොම උනත් හෙන්ග්, ඔයාට දරුවන් කන්න බැහැ… ඒක වැරදි දෙයක්.”

“අපේ ළමයින් නෙමෙයි… එළු ළමයින්… අපිට ටික දෙනක් හිටියා නේද?” හෙන්ග් ඇසීය.

“ඔව්, අපට තවමත් ටික දෙනක් ඉන්නවා, නමුත් මම සිතුවේ අපි එයාලව රැළට එකතු කරන්න තියා ගනියි කියලා.”

“එක ළමයෙක් විතරයි.”

“ආහ්, ඔව්, හොඳයි, හෙන්ග්, ඔයා අසනීපව සිටින නිසා, මම අද රෑට ඔයාට ළමයෙකු කපලා උයන්නම්. අපි ටික ඌරු මස් කන්නම්.”

“මට ඒක ඕනේ තුනීවට, පුළුස්සලා, නමුත් තුනපහ දාලා නෙමෙයි, වැන්. මට මස්, නියම රතු මස් ටිකක් කන්න හරිම ගිජු කමක් තියනවා.”

තම පියාට තවම තමන්ව අනුභව කිරීමට කිසිදු අදහසක් නොමැති බව දැනගැනීම දරුවන්ට මහත් සහනයක් විය.

ඔහුගේ රාත්‍රී ආහාරය එනතෙක් බලා සිටී හෙන්ග් නින්දට ගොස් ඇති බව පෙනෙන්නට තිබූ නිසා, ඩෙන් තම මවගෙන් විමසුවේ කවදා හෝ තම පියාට ඔවුන්ව අනුභව කිරීමට අවශ්‍යතාවයක් ඇතිවේද යන්නයි.

“ඔහ්, අපි එහෙම හිතන්න හොඳ නැහැ, ඩෙන්, අපි එයාගේ රුචිය තෘප්තිමත් කර ගත්තොත් ප්‍රශ්නයක් නැහැ, නමුත් රුචි මොනවටද කියලා අපි තාමත් දන්නේ නැහැ.”

“ඩා නැන්දා, හෙන්ග්ගේ තත්වය ගැන ඔයා සිතන්නේ මොකක්ද?”

“මම හිතන්නේ එය සිත් ඇදගන්නා සුළුයි… ඇත්තෙන්ම ඉතා සිත් ඇද ගන්නා සුළුයි. ඊයේ, හෙන්ග් මරණයේ දොරට තට්ටු කරමින් සිටපු බව ඔයාට පෙනෙන්න ඇති, නමුත් දැන් ඔහු පැයෙන් පැයට වඩ වඩා ක්‍රියාශීලී වෙමින් ඉන්නවා, නමුත් එයා අපි හැමෝම හොඳින් දැනගෙන සිටිය හා ආදරය කළ හෙන්ග් විදිහට පෙනෙන්නේ නැහැ.”

“මෙම අලුත් හෙන්ග් මොන වගේද කියා අපට පස්සේ දැනගන්න ලැබෙයි, එහෙම නැත්නම් මේ අලුත් ආහාර වේලට පුරුදු වෙලා නැවත ලේ වර්ධනය වුනාම සමහරවිට පරණ කෙනා මතුවෙයි.”

“ඔබේ අනුමානය මගේ තරම් හොඳ වෙන්නේ නැති වෙන්න පුළුවන්, නමුත් මේ කාරණය මට අලුත් බවත්, ඒ අනුව මම ක්‍රියා කරන බවත් මම පිලිගන්නවා. මගේ අධ්‍යාත්මික මිතුරන්ගේ යෝජනා කිහිපයක් තිබුනා, ඒත් එයාලගෙන් එක්කෙනක් කියුවා හෙන්ග්ව මරා දමන්න එතකොට එයාට අලුත් ජීවිතයක් ආරම්භ කරන්න පුළුවන් කියලා.”

“ඔයා ඒ යෝජනාව ගැන සිතන්නේ මොකක්ද, වැන්?”

“එර්.., අවංකව කීවොත්, ඒක තරමක් දරුණු පියවරක් කියලා මම හිතනවා, නැද්ද ඩා නැන්දා?”

“ඔව්, මම ඔයත් එක්ක එකඟ වෙනවා, ඒ නිසයි මම ඒක යෝජනා නොකළේ, නමුත් දේවල් සුමටව සිදුවෙන්නේ නැත්නම් ඒක අපිට තියන විකල්පයක්.”

මෙම සංවාදය පුරාම හෙන්ග් නිදා සිටින බවක් පෙනෙන්නට තිබුණත් කාන්තාවන් එය පරීක්ෂා කර බැලීමට ගියේ නැත.

“ඔයා හිතනවද එයා දුක් විඳිනවා කියලා, ඩා නැන්දා?”

“එයා සාමකාමීව ඉන්නවා කියලා තමයි පෙනෙන්නේ, එහෙම නෙමෙයිද? එයා දැන් ආයෙත් කතා කරනවා ඒත් කිසිම අපහසුතාවයක් ගැන කියලා නැහැනේ, මම ඔයා නම් මම එයාගේ ශාරීරික තත්වය ගැන ඕනෑවට වඩා කරදර වෙන්නේ නැහැ, නමුත් ඔයා අනිත් හැමෝටම වඩා එයා ගැන දන්න නිසා ඕනෙම මානසික වෙනසක් දැක්කම මට කියන්න, අපිට ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්.”

“හරි, ඩා නැන්දා, මම ඒක කරන්නම්. බලන්න, ඔයාට වෙනත් වැඩ කටයුතු තියන නිසා අපි ඔයාව තවත් තියාගන්න කැමති නැහැ. ළමයින් නම් හරි පුදුමාකාරයි – එයාලා අපේ සියලු වැඩ භාරගෙන තියන නිසා මට හෙන්ග් සමඟ වාඩි වී ඉන්න පුළුවන්, ඒත් ඔයාව නැවත ඇරලවන්න ඕනෙනම් මට ඒක පිළිවෙල කරන්න පුළුවන්. ඔයාගේ උදව්වට අපි හැමෝම ඔයාට ස්තුතිවන්ත වෙමු, ඔයා නැතුව හෙන්ග් මිය යන්න තිබුනා කියලා අපි හොඳින් දන්නවා. අපට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියනවානම්, ඔයාට ඒක කියන්න විතරයි අවශ්‍ය.”

“ඔව්, ස්තූතියි, වැන්, සමහර විට මම පැය කිහිපයක් ගෙදරට යන්න ඕනේ, නමුත් මම කැමතියි හෙන්ග් ඔහුගේ ළමයාගේ කෑම කනවා දකින්න. ඒ නිසා මම අද සවස ඔයාලා එක්ක ඌරු මස් කන්න ඉන්නම්, ඒක සතුටුදායක දෙයක් වෙයි.”

“ගෙවීම සම්බන්ධයෙන්, දැනට ඒ ගැන කරදර වෙන්න එපා. හෙන්ග් මගේ ප්‍රියතම ඥාති පුත්‍රයා වන නිසා ඔයාලගේ කිසිවෙකුට කිසිම දෙයක් වෙනවා දකින්න මම කැමති නැහැ. ඒවගේම මොනවා හරි දෙයක් වෙන එක වලක්වන්න මගේ බලයෙන් උපරිම දේ කරන්නත් මම ලෑස්තියි.”

“මට ගෙදරට ඇවිදගෙන යන්න පුළුවන්, ආයෙත් ඇවිදගෙන එන්නත් පුළුවන්… ඔයාලා කෑම කන්න ඉන්නේ කීයටද?”

“වෙනදා වගේම හතත් හතත් තිහත් අතර, ඔයාගේ පැමිණීම අපි බලා ඉන්නවා.”

“හරි, මම දැන් යනවා, ඔයාව හතට හමුවෙන්නම්. දැනට බායි.”

“බායි, නැන්දා, ඔයාගේ සියලු උදව් වලට නැවතත් ස්තූතියි.”

ඩා පිටව ගිය පසු, තම ස්වාමිපුරුෂයා සමඟ තනිව සිටීම වැන්ට නුහුරු දෙයක් විය. ඩෙන් එළුවන්ව දිය පහර වෙත ගෙන ගොස් සිටි අතර ඩින් පවුලේ එළවළු වගා කෙරූ බිම් කැබැල්ලෙහි වැඩ කරමින් සිටියාය. තම මව සමඟ රැළේ දුවමින් සිටි එළු පැටවෙකු අද දින මරා දැමිය යුතු බව ඩෙන්ට පැවසීමට වැන්ට අවශ්‍ය වූ නමුත් හෙන්ග්ව තනි කර යාමට ඇය මැලි වූවාය. යා හැකි එකම තැනැත්තා ඩින් වූ බැවින් සුපුරුදු ලෙස දිවා ආහාරය සඳහා ඩින් නැවත පැමිණෙනු ඇතැයි ඇය බලාපොරොත්තු වූවාය. එවිට හෙන්ග් හට කරදරයකින් තොරව තම ආහාරය ලැබෙනු ඇතැයි වැන් තරයේ විශ්වාස කළාය.

ඇය ඔහු සමඟ කතා කිරීමට උත්සාහ කළ අතර, ඔවුන් හට සවන් දීමට කිසිවෙකු නොසිටි බැවින්, ඇය ආදර වචන භාවිතා කළාය.

“ඩාර්ලිං හෙන්ග්, ඔයා අවදියෙන්ද, මගේ ආදරය? අපි හැමෝම… මම ඔයා ගැන බොහෝ සේ කනස්සල්ලට පත්වෙලයි ඉන්නේ… ඔයාට ඇහෙනවානම් කරුණාකරලා උත්තර දෙන්න.”

“ඇත්ත වශයෙන්ම මම අවදියෙන් ඉන්න කොට මට ඔයාව ඇහෙනවා, නමුත් මට වරින් වර නින්ද ගියා, මඩ්,” ඔහු සිය නව, පහත්, ගුගුරන හඬින් පැවසීය. “මම හිතනවා නින්ද නිසා මට දේවල් කිහිපයක් මග හැරුණා කියලා. සාමාන්‍යයෙන් ගත්තාම මම හොඳින්, සමහර වෙලාවට ටිකක් අමුත්තකුත් දැනෙනවා. මම රෑ කෑම එනකම් තමයි මේ ඉන්නේ.”

“දැන් වේලාව කීයද?”

“එකොළොස් හතළිස් පහයි, අපට ටික වේලාවකින් පොඩි දිවා ආහාරයක් ගන්න පුළුවන්, ඔයාට මොනවා හරි ඕනෙද?”

“මොනවද?”

“ඔහ්, සලාදයක්…”

“අපෝ, හාවන්ගේ කෑම!”

“ඒත්, ඒත් ඔයා මීට ඉස්සර හරිත සලාද රස වින්දා, හෙන්ග්…”

“මමද? මට එය සිතා ගන්න බැහැ ඒ වගේම මම ඒකට කැමතියි කියලා මතකයක් නැහැ.”

“ඔම්ලට් එකක් කොහොමද?”

“ඔව්, ඒක වඩා හොඳයි. ඔයාට ඒකට මිල්ක්ෂේක් මිශ්‍ර කරන්න පුලුවන්ද?”

“ඔව්, ඇත්තෙන්ම, ඇයි බැරි කියලා හිතන්න බැහැ, රාත්‍රී කෑමට ඉස්සර ගන්න ඕනේ ටික මේ තියෙන්නේ.”

“අපි ඩින්ට විනාඩි තිහක් දීලා බලමු. ඔයාට එළු ළමයෙක්ව මරන්න කියලා එයා ලවා ඩෙන්ට පණිවිඩයක් යවන්න මට ඕනේ.”

දිවා ආහාරයෙන් පසු ඩින් පිහි කිහිපයක්, මස් දැමීම සඳහා බෑගයක් සහ රුධීරය දැමීම සඳහා බෝතලයක් ඇගේ සහෝදරයා වෙත ගෙන ගියේය. ඒවායින් ඔහුට සිය අඳුරු රාජකාරිය ඉටු කිරීමට හැකි වන අතර ඇය ඒවා බාරදී නැවත එළවලු කොටුවට ගියාය.

“ඔයා ඔම්ලට් එක රස විඳින බව පේනවා, හෙන්ග්?”

“ඔව්, ඒක ඉතා සෞඛ්‍ය සම්පන්න, මස් බහුල, ප්‍රෝටීන් බහුල කෑමක්.”

වැන් හැන්දෑ වරුවේ හෙන්ග් වටා ගැවසෙමින් එළවළු කපමින්, නාම් පික් මිරිස් සෝස් සෑදුවාය, නමුත් හෙන්ග් කිසිඳු වචනයක් හෝ කීවේ නැත. ඔහු දින කිහිපයකින් ගත් ඔහුගේ ඝන ආහාරයෙන් පසු කෙටි නින්දක හෝ සුවය ලැබීමේ දිගු දහවල් නින්දක් ලබමින් සිටියේය.

ඊළඟ පැය විසිහතරේදී ප්‍රයෝජනයට ගත හැකි එළවළු සහ ඖෂධ පැළෑටි කූඩයක් සමඟ සවස් වරුවේ ඩින් ආපසු පැමිණියේය. මඳ වේලාවකට පසු ඩෙන් පැමිණ මියගිය එළුවාගේ මස් බෑගය සහ රුධීරය දැමූ බෝතලය ඔහුගේ මවට භාර දුන්නේය.

“මම ගිහින් මේ එළු සමට ලුණු දමන්නම් අම්මේ, හරිද? තාත්තා මට පෙන්නුවා වගේ මම දැනටමත් ඒක සූරලා තියෙන්නේ. මම විනාඩි විස්සකින් ආයේ එන්නම්.”

“හදිසි වෙන්න ඕනේ නැහැ, අපිට ඕනෑ තරම් කල්වේලාව තිබෙනවා. ඔයා එළුවා මස් කරපු නිසා කෑමට මේසෙට එන්න ඉස්සර ස්නානය කරන්න මතක තියා ගන්න. ”

“ඔව් අම්මේ…”

“ම්ම්ම්, මිල්ක්ෂේක්, මට නියම මිල්ක්ෂේක් සුවඳයි…” හෙන්ග් දඟලමින්, කෙඳිරිලි හඬින් කීවේය.

“ඔව්, හෙන්ග්, මිල්ක්ෂේක්… මඩ් පස්සේ ඔයාට මිල්ක්ෂේක් හදලා දෙයි, නමුත් ඉස්සෙල්ලා ඔයාගේ නැන්දා මෙහි ආ විට අපි රාත්‍රී ආහාරයට පෙර ගන්නාවූ කෑම ගමු.”

“එයාට එළුවාගේ ලේ වල හෝ මස් වල හෝ සුවඳ දැනිලා තියනවා, මට විශ්වාසයි” වැන් ඩින්ට රහසින් පැවසීය. “බලන්න, මායාකාරියකගේ වගේ එයාගේ නහය ඇඹරෙන හැටි. සතියකට කලින් කවුරුත් හිතුවද අපිට මේ විදිහට ජීවත් වෙන්න වෙයි කියලා.”

වැන් වැඩිපුර තිබූ මස් අධිශීතකරණය තුළ තබා හෙන්ග්ට පිසීමට අවශ්‍ය කොටස දුරට රැගෙන ගියේ, එහි රුධිරයෙහි සුවඳින් හෙන්ගෙන් වියහැකි කරදයන්ගෙන් මිදී වැඩ කිරීම සඳහාය. වයින් ඉවරවූ ඔරලෝසුවක් මෙන් හෙන්ග් නැවත නින්දට ගියේය.

හයයි හතළිස් පහට පමණ වැන්, කැබලි කැපූ එළවළු වතුරෙන් ඉවතට ගෙන, වතුර බේරීමට පසෙකින් තබා මේසයක් මතවූ පැරණි කොන්ක්‍රීට් කුට්ටියක් මත තබා තිබූ ලිප දල්වා එයට තවත් අඟුරු කැට කිහිපයක් එකතු කළාය. අද රාත්‍රියේ දරුවන්ගේ ප්‍රියතම ආහාරය ඔවුනට ලැබෙනු ඇත – බාබකියු කෙරූ ඌරු මස්.

බාබකියු කිරීම සඳහා වූ උපකරණ සරල වූවත් ඵලදායක විය. එහි පැරණි තාලේ තැඹිලි යුෂ මිරිකා ගන්නාවූ යන්ත්‍රයකට සමාන ලෝහ ‘තැටියක්’ විය. එහි ද්‍රෝණියට ජලය දමා එළවළු සහ සහල් වලින් සෑදු ස්පැගටි තම්බා ගැනීම සඳහා පාවිච්චි කල අතර එහි කොත මස් බාබකියු කිරීම සඳහා යොදා ගති. ඇත්ත වශයෙන්ම, සෑම කෙනෙකුම තමන්ගේම ආහාර පිසූ අතර ද්‍රෝණිය නිතරම අනෙක් අය වෙනුවෙන් පුරවා තැබූහ.

ඩා, සුදුසු වේලාවට එනම්, හතයි දහයට පැමිණි විට, ශීතකරණයෙන් මස් ගෙන ඒමට වැන්, ඩින්ව යැවීය. ඇය මේසයෙන් යාර දහයක් පමණ දුරින් සිටින විට, ඔහුගේ නාසය කරකවමින්, හෙන්ග් නැවතත් ‘අවදිවිය’.

“ම්ම්ම්, මිල්ක්ෂේක්!”

“නෑ, හෙන්ග්, මිල්ක්ෂේක් පස්සේ, දැන් ඔයාට ළමයගේ කොටස.”

“ම්ම්ම්, ළමයගේ කොටස, නියමයි, භාගෙට උයලා…”

ඩා පුදුමයට පත් වූ අතර සියල්ල මනසේ සටහන් කර ගත්තාය.

බාබකියු කිරීමට වැන් මස් උඳුන මත දැමූ විට, හෙන්ග් තම කන්නාඩි යුගල ගලවා ගත්තේ ක්‍රම ක්‍රමයෙන් අඩුවී යන ආලෝක තත්ත්වය මැද සියල්ල පැහැදිලිව දැක ගැනීමටය. ඔහුගේ දෑස් දැවෙන රතු පුලිඟු ලෙස දිලිසුන අතර ඒ දුටු දරුවන් දෙදෙනා වෙවුලුවේ බියෙන් සහ කිසිවක් තේරුම්ගත නොහැකි ලෙසය.

.එහි සිටින සෑම කෙනෙකුම තැම්බෙන එළවලු සහ මස් පිසින විට නැගෙන සුවඳ ඉතා අපූරු බව කිව හැකි වූවත්, හෙන්ග් පළමුව කතා කළේය.

“ළමයාගේ සුවඳ දැන් නියමයි! ලේ ටික පුච්චලා දාන්න එපා. හෙන්ග්ට අවශ්‍ය වන්නේ මස් ටික බාගෙට උයලා… එළවළු එපා, ගඳ විතරයි.”

“ඔව්, හෙන්ග්, මම දන්නවා, බාගෙට උයලා, නමුත් අමුවෙන් නෙමෙයි. මේක තාමත් අමුයි, ඔයා තව විනාඩි දෙක තුනක් ඉන්න.”

“නෑ මඩ්, මම මේ වගේ කන්නම්. දැන් නම් ඒකෙ සුවඳ ඉතාම හොඳයි, නමුත් ගතවෙන සෑම විනාඩියකදීම ඒකෙ සුවඳ අඩු වෙනවා. මට දැන් කන්න ඕනේ.”

“හරි, හෙන්ග්, ඔයා කැමති විදිහට කරන්න. ඔයාගේ මස් එක්ක එළවලු හරි ස්පැගටි හරි ඕනෙද?”

“නැහැ, මස් විතරයි, ඕනේ හාවාව මිසක්, හාවාගේ කෑම නෙමෙයි.”

වැන් ගින්නෙන් මස් කැබලි දෙක ගෙන, එකක් හෙන්ග් වෙත පිඟානක් මත තබා දුන්නේය.

“ඔන්න, පෝ, ඒත් මට නම් තාම ඒක ලේ පාටයි. අපි වගේම ඔයත් හැම වෙලේම මස් කෑවේ හොඳට උයලා.”

හෙන්ග් පිඟාන රැගෙන, ඔහුගේ හාවෙකු මෙන් ගැහෙන නාසයට සමීප කොට එහි සුවඳ බැලුවේය. ඉන්පසු ඔහු පිඟාන උකුල මත තබා කුඩා මස් කැබැල්ල අත් දෙකෙන්ම රැගෙන නැවත නාසය වෙත එසෙව්වේය.

“අලංකාරයි, ටිකක් වැඩිපුර පිච්චිලා, ඒත් හරිම හොඳයි” කියා ඔහු පැවසුවේය.

කුඩා මස් කැබැල්ලක් කඩා ඔහුගේ ඉදිරිපස දත් වලින් එය හපන විට සෑම කෙනෙකුම ඔහුගේ සෑම පියවරක්ම දෙස සෝදිසියෙන් බලන බව හෙන්ග් දුටුවේ නැත. වැන් සිතුවේ අඩුම තරමින් මුළු මස් කැබැල්ලම ඔහු එක් වරම ගිලදමාවී කියාය. ඉන්පසු ඔහු එක් අතකින් මස් කැබැල්ල අල්ලාගෙන අනෙක් අතින් මස් කැබලි කඩා ගත්තේය. ලේ වැකි තිබූ අභ්‍යන්තරය පෙනුණු විට ඔහු එය මත තම දෙතොල් තබා උරා බොන්නට විය.

ඔහුගේ රතු සහ රෝස පැහැති ඇස් මගින් උකුස්සෙකු මෙන් මස් කැබැල්ල දෙස බලා සිටියදී, ඔහුගේ පවුලේ අය එකිනෙකා දෙස පුදුමයෙන් බලා සිටියහ.

“ප්‍රශ්නයක් තියනවද?” ඔහු තම බිරිඳ දෙසට හිස හරවා ඇසීය.

“නෑ, හෙන්ග්, ප්‍රශ්නයක් නැහැ. ඔයා ආයෙත් ඝන ආහාර කනවා දැකීම සතුටක්, එච්චරයි. අපිට ඔයා ගැන සතුටුයි, හැමෝටම එහෙම නේද? ”

“ඔව්,” ඔවුන් සියල්ලෝම එකවර පැවසූහ, නමුත් ඩාට ඇගේ සැක සංකා තිබුණි, නමුත් එම මොහොතේ ඒවා බෙදා ගැනීමට ඇය සූදානම් නොවීය.

“හොඳයි! එහෙනම් ඒක හරි,” යනුවෙන් පවසමින් හෙන්ග් අතිශය කැමැත්තකින් නැවත අනුභවය පටන් ගත්තේය.

වර්ග අඟල් දුසිම් භාගයක පමණ මස් කොටස අනුභව කිරීමට හෙන්ග්ට විනාඩි තිහක් ගත වූ අතර පසුව ඔහු අස්ථිය කෑම ආරම්භ කළ අතර එහි රැඳී තිබූ මස් සියල්ල පිරිසිදු කොට අවසානයේ අස්ථිය ලෙව කෑවේය. අනෙක් අයට තමන්ගේ ආහාරය කෙරෙහි අවධානය යොමු කිරීම කළ නොහැකි වූ අතර, එහි ප්‍රථිපලය වූයේ ද්‍රෝණියෙහි ජලය වාශ්පවී යාමත් මස් වැඩිපුර පිලිස්සී යාමත්ය. එබැවින් ඔවුන්ගේ ආහාර බොහෝ දුරට විනාශ වී තිබුන අතර වෙතත් ඔවුන් ආහාර නාස්ති නොකරන අය වීම නිසා ඒවා අනුභව කළහ.

ඔහු පළමු මස් කැබැල්ල අවසන් කළ පසු, හෙන්ග් ඔහුගේ අත්ලේ පිටුපසින් තම මුඛය පිසදමා, පසුව අතද ලෙවකමින් පිරිසිදු කළේය. එය දුටු කෙනෙකු සිතන්නේ හෙන්ග්ට පාන් සහ ජලය පමණක් කෑමට දුන් හුදකලා සිර කඳවුරක සිට වසර ගණනාවකට පසු නිදහස් කෙරූ අයෙකු ලෙසටය. ඔවුන්ගෙන් කිසිවෙකු ආහාර මෙතරම් භුක්ති විඳින කෙනෙකු දැක නොතිබුණි.

“ඔයාට දැන් අනිත් එක ඕනෙද, පෝ,” ඩින් ඇසුවාය.

හෙන්ග් තම උරහිස් වටා දමා තිබූ පොරවනය අල්ලාගෙන එය වඩාත් සුවපහසු ආකාරයන් ඔතා ගැනීමට උත්සාහ කෙරූ අතර ඔහුගේ උකුල මත තිබු පිඟාන බිමට වැටීමට පෙර ඩෙන් අල්ලා ගත්තේය.

“කාපු එක පහලට යනකම් අපි ටිකක් බලමු, ඊට පස්සේ තව ටිකක් කමු” හෙන්ග් පැවසීය. “හරිම ශෝක් කෑම, හෙන්ග් ගොඩක් කැමතියි.”

ඩෙන් ඔහුගේ මව දෙස බැලූ අතර ඔහු අදහස් කළේ කුමක්දැයි ඇය දැන සිටියාය. හෙන්ග් පරෙවි-තායි කතා කරමින් සිටි අතර ඔහුගේ තායි උච්ඡාරණය කිසිදා නිවැරදි නොවූයේ ඔහුගේ දෙමව්පියන් චීන ජාතිකයන් වූ බැවිනි. එහෙත් කිසිම දිනක ඔහු මෙතරම් නරක ලෙස කතා කර නොමැත.

සියල්ලෝ ඔවුන්ගේ ආහාර ගැනීම සඳහා නැවත යොමු වන අතර හෙන්ග් කිසිදු හැල හොල්මනක් නැතුව සිටියේය. හදිසියෙන්ම ඔහු සිටි දිශාවෙන් යටපත්වූ, මඩ ගොහොරුවක පය අදින්නාක් මෙන් ශබ්ධයක් පැමිණියේය. සිදු වූ දේ සැමදෙනාම දැන සිටියත් ආචාරශීලී බව නිසා ඔවුන් සියල්ලෝම එය නෑසුනා සේ සිටියහ. ඒ සමගම තවත් එවැනි ශබ්ධයක් සමග දැඩි දුර්ගන්ධයක් පැතිර ගියේය.

ඔහුගේ අඳුරු කණ්නාඩියට යටින් පුළුල් සිනහවක් සමග සිටි හෙන්ග් දෙස බැලීමට නිර්භීත වූයේ වැන් සහ ඩා පමණි. .

ඩෙන් සිහින් හඬින් සිනාසීමට පටන් ගත්තේය. මුලදී සිනහව සුළු වුවත් තව දුරටත් එය යටපත් කරගැනීමට ඔහු අපොහොසත් වීය. ඩින් මහා හඬින් සිනාසීමට පටන් ගත්තේය.

“නිහඬ වෙන්න, ලමයිනී! ඔයාලගේ තාත්තාට ඒක පාලනය කරගන්න බැහැ. එයාට අසනීපයි,” වැන් පැවසීය. “එයාගේ කෑම සියල්ල එයාගේ ඇඟ හරහා යන්න ඇති.”

කෙසේ වුවත්, ඩෙන් සහ ඩින්ට ඔවුන් දෙදෙනාව පාලනය කරගත නොහැකි විය. හෙන්ග්ද එහි හිඳගෙන සිටියේ ඔහුගේ මුහුණේ තෘප්තිමත් සිනහවකින් සරසාගෙනය. මිනිත්තු කිහිපයකට පසු, ගඳ අඩු නොවූ විට, වැන් ඩෙන්ට කතා කළාය.

“ඔයාගේ තාත්තව වැසිකිළියට අරගෙන යන්න, ඩෙන්, එතකොට එයාට පිරිසිඳු වෙන්න පුලුවන් නේද? මොනවා හරි ප්‍රශ්නයක් නම්, කෑ ගහන්න, මම එන්නම් එයාට උදවු කරන්න.”

“හෙන්ග්, ඔයාගේ යට ඇඳුම් රෙදි සෝදන කූඩයට දාන්න, මම හෙට ඒවා වෙන් කරන්නම්.”

ඔවුන් ගිය පසු වැන් මෙසේ පැවසීය.

“හොඳයි! ඔහ්, ඔයා මොනවද ඒ ගැන හිතන්නේ, ඩා නැන්දා?”

“හරිම අමුතුයි, එහෙම නේද? නමුත් හෙන්ග්ගේ හැසිරීම මට මතක් කරන්නේ කුරුල්ලෙකුගේ හැසිරීම. මට ඒ ගැන හරියටම කියන්න බැහැ, නමුත් එයා එහි හිඳගෙන සිටි ආකාරය සහ එයා කෑම කාපු ආකාරය හා ආහාර ගැනීමෙන් පසු කරපු ආකාරය… කුරුල්ලෝ එහෙම කරනවා – මම දන්නවා ගොඩක් සතුන් ද එහෙම කරනවා කියලා, නමුත් ඔයාම බලන්න ඔයාගේ කුකුලෝ දිහා. මස් කෑමෙන් පස්සේ එයා ඇඳ රෙද්දෙන් එතිලා කන්නාඩි දාලා හිටියේ හරියට කුකුලෙක් වගෙයි.”

“ඒත් ඉතින්, ඔයා හිතන්නේ නැද්ද එයා මලපහ කිරීම පාලනය කරගන්න බැරි පුද්ගලයෙක් වෙලා කියලා? මම අපේ ඇඳ ගැන ටිකක් කනස්සල්ලෙන් ඉන්නේ… අපි සති කිහිපයකට ඉස්සර අලුත් මෙට්ටයක් මිලට ගත්තා… ඒක මහා ලැජ්ජාවක් වෙයි, එහෙම නෙමෙයිද? අපට විශ්වාසය ඇතිවන තෙක් එයාව ධාන්‍යාගාරයේ තිබ්බොත් හොදයි කියලා ඔයා සිතනවාද? ”

“නැහැ, කරදර වෙන්න එපා! කුරුල්ලන් උනත් එයාලගේ කූඩුව ඇතුලේ ජරා කරගන්නේ නැහැ, නමුත් සිදුවන්නේ මොකක්ද කියලා අපට වඩා හොඳින් අවබෝධ වන තුරු ඔයා කැමති වෙයි එයාට නැපියක් අන්දලා තියන්න… නැත්නම් පැම්පරයක් අන්දන්න, නමුත් සමහර ඒවා ගන්න ඔයාට නගරයට යන්න වෙයි.”

හෙන්ග් ඩෙන් සමඟ ආපසු පැමිණි විට, ඔහු බෙල්ල නමාගෙන ලජ්ජා සහගත බවකින් සිටියේය.

“ඔයා හොඳින්ද, හෙන්ග්?” ඔහුගේ බිරිඳ ඇසුවාය.

“ඔව්, හදිසි අනතුරක්. කරදර වෙන්න එපා ප්‍රශ්නයක් නැහැ. අද තවත් වෙන්නේ නැහැ. දැන් නිදාගන්න යනවා.”

“ඔව්, හොඳ අදහසක්. ඩා නැන්දා, එයාගේ මිල්ක්ෂේක් ගැන මොකක්ද කියන්නේ?”

“මම හිතන්නේ එයා ඇඳට යන්න ඉස්සර යමක් ගන්න ඕනේ. ඔයාගේ අලුත් ඇඳ ගැන කරදර වෙන්න එපා, එයා මීට ඉස්සර ඒක ජරා කරේ නැහැනේ, ඒ නිසා අද රෑත් එහෙම කරන එකක් නැහැ. නමුත් මම එයත් එක්ක එක ගෙදරක ජීවත් වෙනවා නම්, මම කැමති නැහැ එයා මහා රෑ නැගිටලා කන්න මොනවා හරි හොයනකොට”

“ඔව්, ඔයා බොහෝ විට හරි. ඩෙන්, ඔයාගේ තාත්තාව විනාඩියකට මේසයේ අද්දර වාඩි කරවන්න. ඩින්, කරුණාකර මිල්ක්ෂේක් වීදුරුවක් ගේන්න.”

ඔහු එය පානය කල පසු කිසිදු සැකකටයුතු ශබ්දයක් හෝ සුවඳක් නොතිබූ බැවින්, වැන් දරුවන්ට පැවසුවේ තම පියාව ඇඳට ගෙන යන ලෙසටයි.

“එයා හොඳින් ඉන්නවද කියලා බලන්න මම ටිකකින් උඩට යනවා, නමුත් මම හිතන්නේ එයා දැන් නිදා ගනීවි.”

“හොඳයි, හොඳයි, හොඳයි, ඩා නැන්දා, මොනවා කරන්නද, එහ්? දැන් අපේ ගෙදර කුරුළු මිනිසෙක් ඉන්නවා! ඔයා ඒගැන මොකද හිතන්නේ?”

“මට තවම විශ්වාස නැහැ, වැන්, නමුත් ඔයාගේ විහිළුව ඔයා නොදන්නා තරමට සත්‍යයට ලං වෙන්න පුළුවන්. අපි බලා හිඳිමු මොකද වෙන්නේ කියලා.”

“ශීත ඍතුවෙදී එයාට දකුණට සංක්‍රමණය වෙන්න ඕනේ වෙයිදැයි බලමු.”

ඩා විහිළුවක් කරනවාද නැද්ද යන්න ගැන වැන්ට අවබෝධයක් නොවීය, එබැවින් ඇය ගුප්ත අර්ධ සිනහවක් ලබා දුන් අතර, නමුත් එම සිනහව විනිවිද දැකීමට කට්ටඩි නැන්දාට හැකි බව ඇය දැන සිටියාය.

ඇය කනස්සල්ලට පත්වූ නමුත්, එවැනි තත්වයන් යටතේ එසේ නොවන්නේ කවුද?


Страницы книги >> Предыдущая | 1 2 3 4 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации